උඩවලව ප්‍රදේශයේ නවතා තිබූ ලක්‍ෂ තිස් දෙකක් වටිනා පෞද්ගලික බස් රථයක් හොරෙන් ගෙන ගොස් රුපියල් දෙලක්‍ෂ හැත්තෑ දහසකට විකුණා එහි කොටස් ගලවා අලෙවි කරමින් සිටි බව කියන පුද්ගලයන් සිවු දෙනෙකු ඉකුත් 06 වැනිදා කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව උඩවලව පොලිසිය කියයි.



තෝරකොලයාය ප්‍රදේශයේ ඇඟලුම් කම්භලක සේවය සඳහා යොදවා තිබූ එම බස් රථය පසුගිය ජුලි මස 24 දින උඩවලව සතිපොළ ඉදිරිපිට නවතා රියදුරු උඩවලවේ සිය නිවසට ගොස් ඇති බව පොලිසිය පවසයි. පසුදින සේවය සඳහා බස් රථය රැගෙන යාමට රියැදුරු එම ස්ථානයට පැමිණි නමුත් බස් රථය එම ස්ථානයේ නොතිබීම හේතුවෙන් බස් රථයේ හිමිකරුට ඒ බව දැනුවත් කිරිමෙන් පසුව හිමිකරු විසින් උඩවලව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.

උඩවලව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.එස් දයාසිරි මහතාගේ උපදෙස් මත උඩවලව පොලිස් බුද්ධි අංශයේ නිලධාරින් වන පොලිස් සැරයන් (39284) කේ.පී.අයි. පතිරණ, පොලිස් කොස්තාපල් (86478) කේ.ඩබ්.බී.එස්. වීරසිංහ යන නිලධාරින් මේ පිළිබඳව තොරතුරු සෙවීම ආරම්භ කළ බව පොලිසිය කියයි. නවතා තිබුණු බස් රථයට ජුලි මස 25 දින පෙරවරු 12.50 ට පමණ කිසියම් පිරිසක් ඇතුළුවී එය පණ ගන්වාගෙන පිටත්වන අයුරු දකින්නට ලැබුණු බවත් ඒ අනුව ප්‍රදේශයේ ප්‍රධාන හා අතුරු මාර්ග දෙපස සවිකර තිබෙන සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත් පොලිසිය කියයි.

ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගය හරහා හොරණ ප්‍රදේශයට ගමන් කරන එම බස් රථය හොරණ උඩුව හංදියෙන් මොරගහහේනට එදින පෙරවරු 3.38 පැමිණ ඇති බවට සීසීටීවී කැමරා දත්ත තොරතුරුවලින් අනාවරණය වූ බවද පොලිසිය කියයි. මොරගහහේන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක නිමල් සංජීව මහතාගේ උපදෙස් මත බුද්ධි නිලධාරීන් වන පොලිස් සැරයන් (53665) අජිත්, පොලිස් කොස්තාපල් (91215) කල්පගේ යන මහත්වරුන්ගේ පරීක්ෂණ මත මොරගහහේන ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

බස් රථය සොරා ගත් පුද්ගලයන් එම රථය රුපියල් දෙලක්‍ෂ හැත්තෑ දහසක මුදලකට කැලණිය සිංහාරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කර ඇත්තේ පළමුව අත්අඩංගුවට ගත් සැකකරුගේ මඟ පෙන්වීම අනුව බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

එම පුද්ගලයා එම බස් රථය කැලණිය ප්‍රදේශයේ ගරාජයකට රැගෙනවිත් එම ගරාජයේ එහි කොටස් ගලවා විවිධ ප්‍රදේශ වලට අලෙවි කර ඇත. එහි ආසන පනස් දෙකක් ගලවා වවුනියාවේ පුද්ගලයෙකුට අලෙවි කර තිබියදී එය තම බාරයට ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.

බස් රථයේ රිම් සමඟ ටයර් හයක් හා තවත් කොටස් කීප දෙනෙකුට අලෙවි කර ඇති බවත් එහි ඇන්ජිම් කොටස, තෙල් ටැංකිය, දුණු කොල ඇතුළු කොටස් එම ගරාජයේ විකිණීමට තිබියදී තම බාරයට ගෙන සැක කරුවන් සිවු දෙනෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

එම බස් රථය ගලවා කොටස් කෙරෙන ආකාරය එම ගරාජයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවේ සටහන්වී තිබීම හේතුවෙන් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පහසු වූ බව පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර එම පුද්ගලයන් හොරණ, කොළඹ දොළහ, ඇඹිලිපිටිය තෝරකොලයාය, මිද්දෙනිය යන ප්‍රදේශවල පදිංචි කරුවන් බව පොලිසිය කියයි.

ඇඹිලිපිටිය තෝරකොලයාය ප්‍රදේශයේ පදිංචි සැකකරු හා මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි සැකකරු එක්ව උඩවලව ප්‍රදේශයේ නවතා තිබූ බස් රථය පණ ගන්වා රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි. උඩවලව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.එස්. දයාසිරි මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක ආනන්ද උයන්ගොඩ, උප පොලිස් පරික්‍ෂක එස්.ටී. රංජිත්, පොලිස් සැරයන්වරුන් වන (37643) එස්.ඒ. විජේසිංහ, (39284) කේ.පී. අයි. පතිරණ, පොලිස් කොස්තාපල් වරුන් වන  කේ.ඩබ්. වීරසිංහ යන නිලධාරිහු පරීක්‍ෂණ මෙහෙයවූහ.

- රෝහණ සමරවීර -