වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු කරාපිටිය රෝහලේ සායනයකට පැමිණි කාන්තාවක රවටා ඇයගේ රුපියල් තුන්ලක්ෂ විසිපන් දහසක් පමණ වටිනා රන් ආහරණ සොරකම් කරගෙන ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. අක්මීමන ප්‍රදේශයේ කාත්තාවක සැමියාගේ වකුගඩු රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා
ඊයේ (10) උදෑසන සැමියා සමග කරාපිටිය රෝහලේ වකුගඩු සායනයට පැමිණ දොරටුව අසල සිටියදී වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටි පුද්ගලයකු පැමිණ දෙදෙනාටම පරික්ෂණයක් කළ යුතු බව පවසා භෞත චිකිත්සක කාමරය වෙත කැඳවාගෙන ගොස් ඇත.

එහිදි සියලුම රන් ආභරණ  ගලවා සැමියාට දෙන ලෙස පවසා ඇය ඇඳක හාන්සි කරවා ඇති අතර රන් ආභරණ බෑගයක දමන ලෙස පවසා සැමියාට ද ඇඳික හාන්සි වන ලෙස ඔහු පවසා ඇත. ඒ අනුව සැමියාද බිරියගේ මුදු තුනක් මාලය සහ සුරය ද බෑගයේ දමා ඇදේ හාන්සිවී තිබේ. මේ අතර ඔහු ඔවුන් දෙදෙනාට නොපෙනෙන ලෙස රන් ආභරණ ටික සොරකම් කරගෙන, පිටතට ගොස් එන බව පවසා හොර වෛද්‍යවරයා කාමරයෙන් පිටව ගොස් තිබේ. බොහෝ වේලාවක් ඇඳන් මත සිටී අඹු සැමියන් යුවළ  පසුව සොයා බැලීමේදී තමන් වංචාවකට හසුව ඇති බව දැනගෙන පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය පැවසුවේ මෙයට පෙර  අවස්ථා කිහිපයකදී ද සායනවලට පැමිණෙන කාන්තාවන් රවටා මේ ආකාරයට රන් ආභරණ සොරකම් කිරීමේ පැමිණිලි කිහිපයක් ද වාර්තාවී තිබෙන බවය.
-ඩි.ජී.සුගතපාල-