පළමුවැනි හොලිවුඩ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේදී රටවල් 100කට අධික සංඛ්‍යාවක කෙටි
චිත්‍රපට 1000කට ආසන්න ප්‍රමාණයක් අතුරින් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට රංගන ශිල්පී
ශ්‍යාම් ප්‍රනාන්දු සමත්විය. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ‘One Blood’කෙටි

චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව වෙනුවෙනි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට
අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටය පිය පුතු සබඳතාවය පිළිබඳ කළ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක
කලාත්මක එළිදැක්වීමකි. සිග්මන් ෆ්‍රොයිඞ් ඉදිරිපත් කළ ඊඩිපස් සංකීර්ණය ද, ග්‍රීක පුරාණොක්තිවල සඳහන්
ක්‍රෝනස් සහ සියුස් අතර ගැටුම ද, සිංහබාහු කතාන්දරයේ සිංහයා හා සිංහබාහු අතර ගැටුම ද මූලික
වශයෙන් ‘One Blood’ප්‍රස්තුතයට සමානය.

Jaffna international film festival(2019), Agenda 14 film
festival(2019),Pinwood studio London සංවිධානය කළ Lift off global
first-time filmmaker session(2019) යන කෙටි චිත්‍රපට උළෙලවල අවසන් වටයේ නිර්මාණ
අතරට ද චතුර ප්‍රනාන්දුගේ ‘One Blood’කෙටි චිත්‍රපටය නිර්දේශ වී ඇත.

‘One Blood’සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු, චරින්ද්‍ර චන්ද්‍රසේන, චවිරු පෙරේරා රංගනයෙන් ද,
සචිත් බුද්ධික මනම්පේරි, විමුක්ති සෝලංගආරච්චි කැමරාකරණයෙන් ද, විමුක්ති සෝලංගආරච්චි සංස්කරණයෙන්
ද, හංස ප්‍රනාන්දු සංගීතයෙන් ද, ලක්ෂිත ජයකොඩි අංග රචනයෙන් ද, කසුන් රජීව කලා
අධ්‍යක්ෂණයෙන් ද, ඩිනාලි ලියනගේ තේමා ගීත ගායනයෙන් ද, ශෂික අනුෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන්
ද, ප්‍රභාත් අගම්පොඩි නිෂ්පාදන අධීක්ෂණයෙන් ද දායක වෙති.

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)