මහ මැතිවරණයෙන් පසු පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වන සියලුම ශ්‍රේණි සඳහා ලබන සඳුදා (10දා) සිට පාසල් ආරම්භ කිරීමට නියමිතය. එහිදී සිසුන් පාසලට ගෙන්වාගැනීම ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් තීරණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 හෝ ඊට අඩු පාසල් වලට මීටරයක ශිෂ්‍ය පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යා හැකි නම් ඒවායේ සියලු ශ්‍රේණිවල සිසුන්ට සුපුරුදු පරිදි අගෝස්තු මස 10 වැනිදා සිට පාසල් පවත්වාගෙන යෑමට පළාත්, කලාප බලධාරින් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ප්‍රාථමික පාසල්වල 1-5 පන්ති පැවැත්වෙන පාසල් සහ ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශ පහත පරිදි පාසල් විවෘත කිරීමට පියවර ගැනේ.

තවද,2020-08-10 වැනිදා සිට පාසල්වල අධ්‍යයන කාර්යමණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුන් සඳහා ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ කටයුතුවලට අමතරව, සුපරීක්‍ෂණ කාර්යය, පැවරුම් පරික්ෂා කිරීම, සෞඛ්‍ය හා විනය ආරක්‍ෂණ කටයුතුවල වගකීම් පවරනු ලැබේ. ප.ව. 3.30 දක්වා කාලසටහන් හිමි ගුරුවරුන් හැර අනෙකුත් සියලුම ගුරුභවතුන්ගේ රාජකාරී වේලාව පෙ.ව. 7.30 සිට ප.ව 1.30 දක්වා වේ.

පවත්නා තත්ත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරනතුරු පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙසද, පාසල් ප්‍රධානීන් වෙත දැනුම්දී තිබේ.

එමෙන්ම සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති උපදෙස් හා මඟපෙන්වීම් නිසියාකාරව පිළිපදිමින් නිරෝගී පාසල් පරිසරයක් පවත්වාගෙන යැම කෙරෙහි සමස්ත පාසල් ප්‍රජාවගේ අවධානය යොමු කරවන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදී ඇත.

- නවෝද්‍යා පවනි -