සිය බාල සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දෙමින් මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ විවිධ නගර වලට යමින් සිටින මුත්තයියා මුරලිදරන් සහ සනත් ජයසූරිය දෙදෙනාගෙන් කිසියම් පිරිසක් “ඔයාලා කව්ද” කියා විමසා තිබේ. මැතිවරණ රැස්වීමකට සහභාගි වීම සඳහා බගවන්තලාව ප්‍රදේශයට යමින් සිටියදී
මුත්තයියා මුරලිදරන් සහ සනත් ජයසූරිය දෙදෙනා මෙම සිදුවීමට මුහුණ දී ඇත.

එකම දේශපාලන පක්ෂයෙන් තරග කරන තවත් අපේක්‍ෂකයකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් මුරලිදරන් සහ ජයසූරිය දෙදෙගෙන් “ඔයාලා කව්ද” යයි විමසා තිබේ. පසුව පැවැති රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් සහ සනත් ජයසූරිය දෙදෙනා අදහස් දැක්වූයේ මෙලෙසිනි.

මුත්තයියා මුරලිදරන් මෙසේ කීවේය.


“අද අපි ගියා තැනකට බගවන්තලාව කියලා…. බගවන්තලාව පාරේ අපි වාහනේ යනකොට පාලමක් ආවා. අපි නැවැත්තුවා. එතන පිරිසක් හිටියා…මම මේ දේශපාලන සිදුවීමක් ගැන කියන්න යන්නේ”

“එක්කෙනෙක් ඇවිල්ලා මගෙනුයි සනත්ගෙනුයි ඔයාලා කවුද කියලා ඇහුවා….. අහලා ඊට පස්සේ මේක මගේ ගම. ඔයගොල්ලන් මොනාටද එන්නේ කියලා ඇහුවා… ඒත් එයා දන්නේ නෑ මේක අපේ රට කියලා”

“අපි රට වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ. මේ රට ගැන ලෝකෙටම පෙන්නලා දුන්න පුද්ගලයෝ දෙන්නෙක්. ඒත් මේගොල්ලෝ අපි දෙන්නාව දන්නේ නෑ. ඒ වගේ දේශපාලනයක් තමයි මෙතන තියෙන්නේ”

“එක මේ ප්‍රදේශයේ දේශපාලකයන්ගේ දේශපාලනය. ඒ දේශපාලනය ප්‍රචාරය කරන කට්ටිය ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවාම මට ඒ ගැන ඉතාම කණගාටු හිතුනා…” යයි කි මුරලිදරන් මහතා ඔහුට පිළිතුරු දී ඇත්තේ මෙලෙසිනි.

“මේක ඔයාගේ ගම වෙන්න පුලුවන්. ඒත් මේක මගේ රට…..”

“මට මේ රටේ ඕන තැනකට යන්න පුලුවන්… යාපනේටත් යන්න පුලුවන්. දකුණටත් යන්න පුලුවන්. උතුරටත් යන්න පුලුවන්.

කාටවත් ඒක නවත්වන් බෑ. ඒක මගේ අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකමවත් දන්නේ නැතුවද කතා කරන්නේ…ඒ වගේ දේශපාලනයක් තමයි මෙහේ තියෙන්නේ”

“මම හිතනවා. අපි යන්න ඕන හොඳ දේශපාලනයකට. මාතෘ දේශපාලනයකට”

“මිනිස්සු බලයි කවුද වැඩ කරන්නේ කියලා… වැඩ කරන්න පුලුවන් කට්ටියට ඡන්දය දෙයි”

“අපි මේ ලංකාව පුරා ගොඩක් වැඩ කරලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න අහන එක ගැන අපිටත් දුකයි. මෙච්චර මහන්සි වෙලා ලංකාවට කීර්තියක් ගෙනාව. 1996 වල්ඞ් කප් එකක් ගෙනාවා. ඒ වගේ ලොකු කීර්තියක් අපි ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරන්නේ නිකන්ම නිකන් ඉන්න පුද්ගලයෙක්.

“මේ ඡන්දයේදී ඒගොල්ලන්ට පාඩමක් උගන්නන්න. මං ඒක හින්දා ඡන්දේ ඉල්ලනවා නෙවේ. පාඩමක් උගන්නන්න”

“මේ වගේ දේශපාලකයෝ මේ පලාත්වල ඉන්න හින්දා තමා ඔයගොල්ලේ තාමත් දුගී දුප්පත් කමින් ඉන්නේ. ඒක හින්දා මං ඉල්ලීමක් කරනවා මේ වගේ දේශපාලකයන්ට පාඩමක් උගන්නන්න. මේ පාර හොඳ වැඩ කරන්න පුලුවන් ඒ වගේම වැඩක් කරලා තියෙන පුද්ගලයන්ව ඔයගොල්ලන් පාර්ලිමේන්තුවට යැව්වොත් තමා ඔයගොල්ලන්ගේ දේවල් ලබාගන්න පුලුවන්” යයි මුරලිදරන් කීවේය.

ශ්‍රී ලංකාව පුරා සමාජ සත්කාර කටයුතු රාශියක් කර ඇති ගුණ – ජය – සතුට පදනමේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් මුත්තයියා මුරලිදරන් කටයුතු කරයි. එහි අනුබද්ධ සංවිධානයක් වන ‘හදගැස්ම’ සංවිධානය මුරලිදරන්ගේ නිර්මාණයකි.

“මම මේ ‘හදගැස්ම’ පදනම හැදුවේ මේ හේතුව හින්දා. ඔයාලා දකින්න ඇති හැම පලාතකම තියෙනවා. ඒ වගේම මං ඔයගොල්ලන්ට අද පොරොන්දුවක් වෙනවා මේ ගුණ-ජය-සතුට පදනමෙන් හදගැස්ම කියන ශාඛාවල් 8 ක් මේ නුවර එළිය දිස්ත්‍රික්කයට මං දෙනවා කියලා” යයිද මුරලිදරන් පැවසීය.

මුරලිදරන්ට පසුව අදහස් දැක්වූ සනත් ජයසූරිය මෙසේ පැවසීය.


“මුරලිලාට මේ නුවරඑළිය පිට තැනක් නෙවේ. ඒ ගොල්ලන්ගේ දෙමව්පියෝයි දෙමව්පියන්ගෙත් දෙමව්පියොත් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමයි හැදිලා වැඩිලා තියෙන්නේ. මෙහේ තමයි පාසල් ගිහිල්ලා තියෙන්නේ”

“මුරලිගේ තාත්තලා මෙතනින් තමයි ව්‍යාපාර කරලා නුවරට ගිහිල්ලා තියෙන්නේ. ඒත් අවාසනාවට වගේ අපෙන් ඇහුවා ඔයගොල්ලෝ කොහෙන්ද කියලා.”

“ඉතිං මුරලි කිව්වා අපි ලංකාවෙන් කියලා…. ඉතිං ඒ වගේ දේශපාලනයක් තමා මේ දිස්ත්‍රික්කයේ තියෙන්නේ.. අද දේශපාලනය ඒ තැනට ගිහින් තියෙන්නේ”

“අපි කව්රුවත් ගහගෙන මරාගෙන තව කෙනෙක්ගේ වැරදි කියාගෙන දේශපාලනය කරලා වැඩක් නෑ. අපි මොනවා හරි දෙයක් කරනවනම් ඒක මේ දෙමව්පියෝ ඒ වගේම මේ සහෝදර සහෝදරියෝ තීරණය කරාවි හොඳද නරකද කියලා”

“අපි එක පාරක් හරි ඇවිල්ලා වැරද්දක් කලොත් ඊළඟ පාර අපිත් වැටෙන්නේ ඒ පරණ ඉන්න කට්ටියගේ වලටම තමා. අපි ඒ වලට වැටෙන්නේ නෑ. අපි වෙනම වැඩ පිලිවෙලක් ගෙනියන්නේ. ඒ ගැන සැකයක් හිතා ගන්න එපා” යයිද සනත් ජයසූරිය මහතා පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සනත් ජයසූරිය කලක් නියෝජ්‍ය තැපැල් ඇමතිවරයා ලෙසින්ද කටයුතු කළේය.