මිගමුව බන්ධනාගාරයේ තුළ සිදුවූ දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරී ප්‍රධාන ජේලර් ඇතුළු නිලධාරීන් සිවුදෙනාට සැගවී සිටීමට රැකවරණ සැපයූ පුද්ගලයන් කවුරුන්ද? යන්න පිළිබඳ වහාම විමර්ශනය කර වාර්තා කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (06) උපදෙස් දුන්නේය. වරෙන්තු නිකුත් කළ කාලසීමාව තුළදී
සැකකරුවන්ගේ ජංගම දුරකථන වාර්තා විශ්ලේෂණය කර ඔවුන්ට රැකවරණ සැපයූ අය සොයා ගැනීමට පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.මීට අමතරව තවත් කරුණු හතරක් පිළිබඳවද විමර්ශන කොට වාර්තතා කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවද නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

මිගමුව බන්ධනාගාරයේ අධිකාරී ලෙස කටයුතු කළ අනුරුද්ධ සම්පායෝ, එහි ප්‍රධාන ජේලර් වශයෙන් කටයුතු කරන  උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේප්ලර් නිශාන්ත සේනාරත්න සහ දෙවැනි පෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැති නිලධාරීන් සිවුදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කළ වරෙන්තු වහාම ක්‍රියාත්මක නොකිරිමට හේතු ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති නීතිපතිවරයා මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සයෝ අත්අඩංගුවට ගත්තාද? නැත්නම් ඔහු පොලිසියට බාරවුණාද? යන්න පිළිබඳව  වාර්තා කරන ලෙසද උපදෙස් දී ඇත.

මීගමුව බන්ධනාගාරයේ තිබී සොයා ගත් තහනම් භාණ්ඩ අතර තිබූ සංවේදී ඉලෙක්ට්‍රොනික තරාදිය භාවිත කරමින් බන්ධනාගාර නිලධාරින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇතිද? මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර අනුබල දී ඇද්ද? යන්න පිළිබඳ විමර්ශනය කර වර්තා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති නීතිපතිවරයා සැකකාර නිලධාරින්ගේ අනාවරණය වන වත්කම් අනුව ඔවුන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන වැරැදි සිදුකර ඇතිද? යන්න පිළිබඳව වාර්තා කරන ලෙසද උපදෙස් දී තිබේ.

-මනෝප්‍රිය ගුණසේකර-