ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය තමා යටතට ගෙන ඇත්තේ, නීත්‍යනුකූල නොවන ආකාරයෙන් බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර තබා
ගැනීමට නොහැකි බවත්, ඒ අනුවම මෙම වැරැද්ද නිවැරදි කරන ලෙස ඉල්ලීමක් කරන බවත් ඊයේ (12දා) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන්  කළේය.

පැරණි සටන් පාඨවලින් ඉවත්ව ආණ්ඩුව රට  හදන සටන්පාඨවලට යා යුතු බවද සඳහන් කළ සමන් රත්නප්‍රිය මහතා,

"අපි දැක්කා ජන්දයට පෙර ආණ්ඩුව කිවේ ඔවුන්ට ජනාධිපතිවරයා සිටියට බලය නෑ කියලා. ඒ නිසා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් දෙන්න කිවා වැඩ කරන ජනතාවට සහන දෙන්න වැටුප් වැඩි කරන්න වැනි කිසිම දේකට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය

වෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නෑ. දැන් ආණ්ඩුවට ඒ බලය ජනතාව ලබාදීලා තියෙනවා. දැන් ආණ්ඩුවට තියෙන්නේ වැඩ කරන්න. රජයේ සේවකයන්ගේ කප්පාදු කළ වැටුප්

ලබාදීම, ප්‍රවාහන දීමනාව ගෙවන්න පුළුවන්. ආණ්ඩුව බලාපොරොත්තු වුණාටත් වැඩිය බලයක් ජනතාව මේ ආණ්ඩුවට දීලා තියෙනවා. ඒක නිසා අපි හිතනවා යහපාලන ආණ්ඩුව කාලේ ලබා දීපු සහන කප්පාදු කළා. ඒ කප්පාදු කළ සහන ලබා දෙන්න. ඒක මේ ආණ්ඩුවේ වගකීමක්. දැන් මේ රට ඉදිරියට අරගෙන යන්න. අපි කියනවා ආණ්ඩුවට පැරණි සටන් පාඨවලින් ඉවත්වෙලා රට හදන සටන්පාඨවලට යන්න කියලා.

දැන් වර්තමාන ආණ්ඩුව කැබිනට් එක පත් කරලා තියෙනවා. ඒකේ එක එක ඇමතිවරු පත්කරලා තියෙනවා. අනිත් පැතන් ගත්තම රාජපක්‍ෂවරු රටේ ප්‍රධාන විෂයයන් 09ක් පාලනය කරන්න ඇමතිකම් බෙදාගෙන තියෙනවා. ඒක කෙතරම් දුරට සාධාරණද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ඇමති ධුර පවරගෙන තිබෙනවා. දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාට ආරක්‍ෂක ඇමති ධුරය ඔහු යටතේ තියාගෙන ඉන්නවා. 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර තියාගන්න බෑ. ඉතින් ඇයි මෙලෙස ආණුඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ කියලා අපට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයාගෙන් මේ වැරැද්ද නිවැරදි කරන්න කියලා” යැයිද පවසා සිටියේය.

(දිනේෂ් සමරකෝන්)