මෙවර මහමැතිවරණයේ විශාල පරාජයකට පත්වූ එජාපය සිය ජාතික ඡන්ද ප්‍රතිශතය අනුව ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රී ධූරයකට හිමි කම් කියනු ලබයි.

බොහෝ අය විශ්වාස කරන්නේ එම ආසනය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු ඒමට අවස්ථාවක් කරගනු ඇතිය කියාය.

කෙසේ වෙතත් අද (7) සවස සිරිකොත පැවති පක්ෂ ප්‍රබලයින්ගේ රැස්වීමෙන් පසු එම රැස්වීමට සහභාගීවූ පක්ෂ නියෝජිතයෙකු රූපවාහිනී මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුනට රනිල් වික්‍රමසිහ නොපැමිණෙනු ඇතැයි දන්වා සිටියේය.
'එතුමා කවදාවත් ඡන්දයක් පැරදුණාට පස්සේ වෙනත් ක්‍රමයකින් පාර්ලිමේන්තුවට යාමට අදහසක් නැහැ. එතුමා එසේ කරන එකක් නැහැ. එවැනි දෙයක් අද කථාවුණෙත් නැහැ' යනුවෙන් ඔහු දන්වා සිටියේය.

මෙම එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කවුරුන් පාර්ලිමේන්තුවට පත්කර යවනු ඇතිද යන්න තවම ප්‍රසිද්ධ කර නැත.

මහ මැතිවරණයට පෙර මැතිවරණ කොමිසම වෙත යොමු කරන ලද ලැයිස්තුවේ අංක එක ලෙස සටහන් කර තිබුනේ ජෝන් අමරතුංග මහතාගේ නමය.