ගම්පොල පුස්සැල්ලාවේ ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ 53 හැවිරිදි පුද්ගලයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ 24 හැවිරිදී පුතු හා මව සැකපිට අත්අඩංගුවට ගත් බව පුස්සැල්ලාව පොලිසිය කියයි. මෙසේ අයාතනයට ලක්ව ඇත්තේ මුරුගේසු ආරුමුගම් නමැති තිදරු පියකු බව පොලිසිය කියයි. මියගිය අය සමග ආරවුලක් ඇති
කරගෙන මව හා පුතු මෙම ඝාතනය සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි. මරණකරුගේ බිරියට 10 වැනි දින වැටුප් ලැබී ඇති බවත් එයින් රුපියල් දහසක් ඉල්ලා ගත් මරණකරු එයින් මත්පැන් නිවසට රැගෙන විත් ඇති බව හෙළිවී ඇති බවත් මරණකරුගේ මව, බිරිය හා පුතා එක්ව මත්පැන් පානය කිරීමෙන් පසු මෙම ආරවුල හටගෙන ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.


එදින රාත්‍රි 11ට පමණ නිවසේ දී මෙම සිද්ධිය සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.  සැකකාර පුතා සහ මව බිම වැටී සිටි පියා ඇඳ මත තබා පසුදා පුස්සැල්ලාව පොලිසියට ගොස් පියා මියගොස් සිටින බව දන්වා ඇතැයි ද පොලිසිය කියයි. පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අනාවරණය කරගත් තොරතුරු මත සැකකාර මව හා පුතු අත්අඩංගුවට ගෙන තිබේ.

සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණ නාවලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් අමිල උදය මහතා විසින් පවතුවනු ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස දන්වන ලදී. සිරුර මරණකරුගේ 22 හැවිරිදි දියණියට බාර දෙන ලෙසත් මරණ පරීක්ෂණයේ සාක්ෂි දීම සඳහා  19 දිත අධිකරණයේ පෙනී සිටින ලෙසත් දන්වන ලදී. සැකකරුවන් ඊයේ (12) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

-සුරංග රාජනායක-