හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට එරෙහිව රත්නපුර අංක දෙක මහාධිකරණය මඟින් ලබාදුන් මරණීය දණ්ඩන තීන්දුවට එරෙහිව අභියාචනයක් ඊයේ (04දා) රත්නපුර මහාධිකරණය වෙත ගොනුකරනු ලැබිණි.
නීතිඥ චන්දික පීරිස් මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ අනිල්ද සිල්වා මහතා විසින් මෙම අභියාචනා පෙත්සම සකස් කර තිබුණි. චූදිත ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් මහාධිකරණ නඩු විභාගයේදී පෙනී සිටියේද ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාය.

මහාධිකරණයකින් ලබාදුන් තීන්දුවකට එරෙහිව දින දාහතරක් ඇතුළත එම තීන්දුව දුන් මහාධිකරණයටම අභියාචනා ගොනුවක් භාරදිය යුතු බව එකී නඩුවේ දෙවැනි චූදිත වෙනුවෙන් ඉදිරීපත් වූ නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේය.

ඒ අනුව චූදිත ප්‍රේමලාල් ජයසේස්කර මහතාට එරෙහිව ලබාදුන් මරණ දඩුවම් තීන්දුවට එරෙහිව අභියාචනාවක් ගොනු කළ බවද නීතිඥවරයා පැවසුවේය.

මෙසේ ගොනුකරන අභියාචනය අවශ්‍ය ලේඛන අනුව සකසා විමසීම සඳහා කොළඹ අභියාචනාධිකරණයට මහාධිකරණය විසින් නියමිත දින වකවානුවලදී යැවූ බවට පැවසූ නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක මහතා අභියාචනය විමසීම සිදුවනුයේ කොළඹ අභියාචනාධිකරණයේදී බවද සඳහන් කළේය.

චූදිත ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් භාරදුන් අභියාචනය රත්නපුර මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් ඊයේ භාරගනු ලැබීය. චූදිත විසින් ඉදිරිපත් කළ අභියාචනාවේ මුලින්ම ඔහු වරදකරු කළ නඩුවේ අධිචෝදනා සහ සාක්ෂි ලැයිස්තුවද පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසානයේ විත්තිකරුවන් සිවුදෙනෙක් නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන්ද කරුණු ඉදිරීපත් කර ඇත.

එසේම දඬුවම් නියමු වූ නඩු විභාගයේදී අභියාචක චූදිත ඇතුළු චූදිතයන් තිදෙනා විත්ති කුඩුවේ සිට කළ ප්‍රකාශත්, අභියාචක චූදිත ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් ඉදිරිපත් කළ සමන් කුමාර සිරිසේන සහ කැලුම් ජනක යන දෙදෙනාගේ සාක්ෂි සම්බන්ධයෙන්ද කරුණු දක්වා තිබුණි.

එසේම චූදිත ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් මහාධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඉදිරිපත් කළ වාචික දේශනවල සහ ලිඛිත දේශනවල කරුණුද මෙහි තීන්දුව 2020-01-07 දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබී නඩුව විමසු මහාධිකරණ විනිසුරුවරයාගේ ස්ථාන මාරුව හේතුවෙන් එය 2020-07-31 දින දක්වා කල් ගිය බවද සඳහන් වේ. එදින මහාධිකරණ විනිසුරුවරයා විසින් දුන් තීන්දුව අනුව අභියාචක චූදිත ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉරිපත් කර තිබූ 6, 7, 8 සහ 9 යන අධිචෝදනා විකල්ප චෝදනා හේතුවෙන් එකී චෝදනා සම්බන්ධයෙන් ක්‍රියා නොකරන බවද තීන්දුවේ සඳහන්ව ඇතැයි අභියාචනයේ දැක්වේ .

 1, 2, 3, 4 සහ 5 යන අධිචෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බැවින් අභියාචක එම චෝදනා පහටම වැරදිකරු කරන බව තීන්දුවේ සඳහන් වන බව අභියාචන පෙත්සමේ දැක්වේ. ඒ අනුව පළමුවැනි චෝදනාවට මාස හයක සිරදඩුවමක් හා රුපියල් 10,000ක දඩයක්ද, දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවම් නියම කර ඇති බවද. දෙවැනි අධිචෝදනාවට වසර තුනක සිරදඬුවමක්ද, රුපියල් 10,000ක දඩයක්ද, දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවම් නියම කර ඇති බවද, තුන්වැනි අධිචෝදනාවට මරණීය දණ්ඩනයද, හතරවැනි අධිචෝදනාවට වසර විස්සක සිරදඩුවමක් හා රුපියල් 10,000ක දඩයක්ද, දඩය නොගෙවනුයේ නම් තවත් මාස තුනක සිර දඬුවම් නියම කර ඇති බවද, පස්වැනි අධිචෝදනාවටද වසර විස්සක සිරදඩුවම් සහ රුපියල් 10,000ක දඩයක්ද, දඩය නොගෙවනුයේ නම් තවත් මාස තුනක සිර දඩුවම්ද නියම කර ඇති බව තීන්දුවේ සඳහන් වේ යැයිද අභියාචන පෙත්සමේ දැවේ.

මෙකී දඩුවම්වලට අමතරව වින්දිතයන් සුරැකීමේ පනතේ 28 වැනි වගන්තිය සැලකිල්ලට ගෙන මරණකරුගේ ඥාතීන් වෙත රුපියල් ලක්‍ෂ දෙකක වන්දියක් යැපෙන්නන්ට ගෙවන ලෙසත්, එය නොගෙවනුයේ නම් මාස 24ක බරපතළ වැඩ ඇති සිරදඬුවම්ද, එකී පනත අනුව පස්වැනි හා හයවැනි සාක්ෂිකරුවන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂය බැගින් වන්දි මුදල්ද ඒ වන්දි මුදල් නොගෙවනුයේ නම් මාස දොළහ බැගින් මාස 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්ද මහාධිකරණ නඩු තීන්දුවෙන් අභියාචක චූදිතට පනවා ඇති බවද අභියාචනා පෙත්සමේ සඳහන් වේ.

මෙම මහාධිකරණ විනිසුරුතුමාගේ ඉහත තීන්දු නීතියට හා නඩුවේ සාක්ෂිවලට පටහැණි බවද, සාක්ෂිවලින් මතු වූ කරුණුවලට පටහැණි අනුමිතීන්වලට එළඹීමෙන් යුක්තිය අපගමනය වී ඇති බවද, දඩුවම් නියම කිරීමේදී නෛතික ප්‍රතිපාදන සලකා නැති බවද අභියාචකගේ පෙත්සමේ සඳහන් වේ.

එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 140 වැනි වගන්තිය යටතේ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වන තැනැත්තෙකුට එරෙහිව ප්‍රතිපෝෂණ වගකීම ඔප්පු කළ යුතු නීතිමය කරුණු කිසිවක් ඔප්පු කර නොමැතිව තිබියදී අභියාචක චුදිත වරදකරු කිරීම සම්පුර්ණයෙන්ම නීතියට පටහැණි බවද, අභියාචක චූදිතගේ පෙත්සමේ සඳහන් වේ.

එසේම නඩු විභාගයේදී චූදිත වෙනුවෙන් ඉදිරිපත් කළ වාචික සහ ලිබිත කරුණු කිසිවක් සැලකිල්ලට ගෙන නොමැති බවද, සීසීටීවී කැමරා දර්ශන සාක්ෂි කාර්ය පරිපාටියකින් තොරව ඉදිරිපත් කර ඇති බවද එහි සඳහන් වේ.

මහාධිකරණ විනිසුරුවරයා අභියාචක චූදිත වරදකරු කළ නඩු තීන්දුවේ තවත් කරුණු රාශියක් වෙන් වෙන්ව ඉදිරිපත් කරමින් එකී තීන්දුවේ වරදකරු කිරීමේ නියෝගය ඉවත්කර නිදොස්කොට නිදහස් කරන්නැයි අභියාචක චූදිතයා සිය අභියාචනා පෙත්සමෙන් ඉල්ලා සිටී.

- අජිත්ලාල් ශාන්තඋදය -