සරුංගලයේ නූල අධිබලැති විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදීමෙන් දස හැවිරිදි දරුවෙකු මියගොස් ඇතැයි මොරගහහේස්ත පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරගම කනත්තගොඩ මැණික්වත්ත පදිංචිව සිටි හිරූෂ බිම්සර විජේකෝන් නමැති  දරුවෙකි.
මියගිය දරුවා සීයා සමග නිවස ඉදිරිපිට මාර්ගයේ සරුංගල් යැවීමට පැමිණ සීයා විසින් සරුංගලය උඩට යවා  දරුවාට නූල අල්ලා ගැනීමට දී ඇතැයි පොලිසිය සිදුකළ  මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. මද වේලාවකට පසු සියා ශාරිරික අවශ්‍යතාවක් සඳහා එම ස්ථානයේ සිට තරමක් ඈතට ගොස් නැවත දරුවා සිටින ස්ථානයට පැමිණ ඇති බවත් දරුවා පෙනෙන්නට නොසිටීම හේතුවෙන් සොයාබැලීමේ දී දරුවා වැටී සිටිනු දැක ඇති බවත් පොලිසිය කියයි.

පසුව සීයා නිවසේ සිටි අනෙකුත් අයගේ සහ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව දරුවා හොරණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් වෛද්‍යවරුන් කළ පරික්ෂාවේ දී දරුවාට විදුලි සැර වැදී ඇති බව අනාවරණය වී ඇති බවත් පොලිසිය කියයි. දරුවාගේ මාපටැගිල්ලේ කළු පැහැයට හුරු ඉරක් ඇඳී තිබූ බව වෛද්‍යවරුන් සිදු කළ එම පරික්ෂාවේ දී වැඩිදුරටත් අනාවරණය වී තිබූ බව ද පොලිසිය කියයි. එදින සිට දින තුනක් හොරණ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා ඉකුත්දා අලුයම මියගොස් ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.  පශ්චාත් මරණ පරික්ෂණය හොරණ හදිසි මරණ පරික සුමේධ ගුණවර්ධන මහතා විසින් සිදුකිරිමට නියමිතය. මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් සංජීව මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් (66337) ඉන්ද්‍රජිත් මහතා පරික්ෂණ පවත්වයි.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-