කුරුණෑගල බුවනෙක හෝටලය නමින්  පැවති කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයාගේ මයිල් ගසකට හානියක් වීමට ඉඩ නොදෙන බවට
දේශපාලනඥ ජොන්ස්ටන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි
නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතාට ඊයේ (10) දැනුම් දුන්නේය.
මේ වනවිට නගරාධිපතිවරයා පොලිසිය සොයද්දී අතුරුදන්ව ඇති අතර ඔහු අත්අඩංගුවට පත් නොවී සිටීම සඳහා  සහායක් ලැබී ඇතිද යන්න  සම්බන්ධයෙනුත් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද සරත් ජයමාන්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
'බුවනෙක හෝටලය' නමින් පැවැති ගොඩනැගිල්ලට හානි සිදුකිරීම් සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් හා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් සරත් ජයමාන්න මහතා එලෙස දැනුම් දුන්නේය.