ඉකුත් සතියේ අමෙරිකාවේ කැලිෆෝනියාවේ ඩෙත්වැලි ජාතික උද්‍යානයෙන් මිහිතලයෙන් මෙතෙක් වාර්තා වූ අධිකම උෂ්ණත්වය වාර්තා විය. එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 54.4ක් හෙවත් ෆැරන්හයිට් 130ක අගයක් ලෙස දැක්වේ.

කෙසේ නමුත් උෂ්ණත්වය හා ඉහළ තාප තරංග සඳහා  මෙම කලාපය ඉතා ප්‍රචලිත අතර මීට පෙර සඟඳහන් වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ ද මෙම ඩෙත් වැලි ප්‍රෙද්ශයෙන්ය. 2013 වසරේදී සෙල්සියස් අංශක 54ක් ලෙස වාර්තා වූ එය මෙවර තවත් අංශක 4කින් වැඩි වී ඇත.

එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට තාප තරංගයක බලපෑම එල්ල වීම හේතුවෙන් මෙසේ දැඩි උණූසුමක් නිර්මාණය වී ඇත. මෙම තාප තරංගය අමෙරිකාවේ නිරිතදිග පිහිටි ඇරිසෝනා ප්‍රාන්තයේ සිට වයඹ දිග පිහිටි වොෂිංටන් ප්‍රාන්තය දක්වා විහිදී තිබීම විශේෂත්වයකි. බටහිර වෙරළේ ව්‍යාප්ත වූ තාප තරංග හේතුවෙන් කැලිෆෝනියාව සහමුලින්ම ගිණි ජාලාවක් බවට පත්ව ඇත. කැලිෆෝනියාවේ උෂ්ණත්වය මෙලෙස ඉහළ යාමත් සමඟ ලාසන් ප්‍රදේශයෙන් විශාල ‘ගිනි සුළියක්’ද දක්නට ලැබී තිබේ.

කෙසේවෙතත් මෙම අධික උෂ්ණත්වය අවම වශයෙන් තවත් දින දහයක්වත් පවතිනු ඇතැයි එරට අමෙරිකානු ජාතික කාලගුණ සේවා ආයතනය පවසයි.

මේ අතර කැලිෆෝනියාවේ විදුලි බලාගාරයක් අක්‍රීය වීම නිසා එම ප්‍රදේශයට දින දෙකක් පුරා විදුලි බලය ලබා දිය නොහැකි තත්ත්වයක්ද උදා වී ඇති අතර මේ හේතුවෙන් එහි ජනතාවද දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

රිෂ්මි ඉෂාරා