හෙරොයින් පානය කිරිම හේතුවෙන් පුනරුත්ථාපනය වෙමින් සිටියදී මියගිය බව පැවසෙන පුද්ගලයෙකු නේවාසිකව රැදී සිටි දෙහිවල, මල්වත්ත පාරේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නීත්‍යනුකූලභාවය පිළිබද පරික්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හා දෙහිවල පොලීසියට කළුබෝවිල හදිසි මරණ පරික්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පෙරේදා (15) නියෝග කළේය.
හදිසි මරණ පරීක්ෂක, සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා එලෙස නියෝග කළේ, දෙහිවල, මල්වත්ත පාරේ පිහිටි 'සහනය’ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී මියගිය ලත්පඳුරගේ චමින්ද බුද්ධික පෙරේරා නැමති පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණයේ තීන්දුව ලබා දෙමිනි.

දෙමහල් නිවසක ඉහළ මහලේ කුඩා ඉඩකඩක මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබූ අතර, එහි නේවාසිකව රැදී සිටියදී මෙම පුද්ගලයා මියගොස් තිබිණි.

ඊට අදාළ ස්ථානීය පරීක්ෂණය සදහා මරණ පරික්ෂකවරයා එම ස්ථානයට ගිය අවස්ථාවේදී එම මධ්‍යස්ථානය, පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට රජයෙන් ලබා දෙන නීත්‍යනුකූල අවසරපත්‍රය ලබා නොගෙන අනවසරයෙන් පවත්වාගත යන මධ්‍යස්ථානයක් බවට අනාවරණය වී තිබිණි.

එහිදී ආයතනය ලියාපදිංචි කළ බවට රජයන් ලබා දෙන සහතික පත්‍රයක් හෝ අනන්‍යතා සහතික කිසිවක් ඉදිරිපත් කිරිමට එහි හිමිකරු අපොහොසත් වී තිබේ. මෙහි රදවාගෙන පුනරුත්ථාපනය කර ඇත්තේ හෙරොයින් පානය කළ පුද්ගලයන් වන අතර, සිද්ධිය වන අවස්ථාවේදී පුද්ගලයන් 16 දෙනෙකු පුනරුත්ථාපනය වෙමින් සිට ඇති බව පොලීසිය පැවසීය.

මෙම මධ්‍යස්ථානය තුළ කෝවිඩි-19 පාලනය කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පනවා තිබූ සොඛ්‍ය නිර්දේශ නිසි පරිදි අනුගමනය කර නොමැති බවටද අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.  මෙම ස්ථානය පිහිටා ඇත්තේ ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක වන අතර, එය ඉතා අනාරක්ෂිත ලෙස සෞබ්‍යයට බලපෑම් එල්ල වන අයුරින් පවත්වාගෙන ගොස් ඇති බැවින් මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය සිදු නොකර කළුබෝවිල ශික්ෂණ රෝහලේදී මෘත දේහයේ ජෛව පටල සාම්පල ලබාගෙන එම සාම්පල පි.සී.ආර් පරික්ෂණයක් සඳහා යොමු කළේය.

අනතුරුව මියගිය පුද්ගලයාට "කෝවිඩි-19'' වෛරසය වැළඳී නොමති බවට තහවුරු වීමෙන් පසුව මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් සිදු කර තිබිණි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව 'කෝවිඩි-19'පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පනවා ඇති නිර්දේශ මෙම ආයතනය උල්ලංඝනය කර ඇයි පරීක්ෂා කර වාර්තාවක් ලබා ලබා දෙන ලෙසටත්,මෙම මධ්‍යස්ථානයේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා ලබා දෙන ලෙසටත් අදාළ අංශවලට හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා නියෝග කළේය.

මියගිය පුද්ගලයාගේ දේහය මරණකරුගේ සොහොයුරෙකුට භාරදීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)