අංගොඩ ලොක්කා නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන ගෝලයෙකු බව පැවසෙන පුද්ගලයෙකු ගම්පහ, ඔරුතොට කළු පාලම අසලදී පොලීසිය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවකදී පෙරේදා (22දා) වෙඩි වැදීමෙන් ජීවිතක්‍ෂයට පත් වූ බව ගම්පහ පොලීසිය පවසයි.



මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ, ගම්පහ, බුත්පිටිය, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි එදිරිසූරිය ආරච්චිරාළලාගේ චමින්ද එදිරිසූරිය නොහොත් 'චමියා' නමැති 41 හැවිරිදි එක් දරු පියෙකි.

පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන අංශය මඟින් චමිද නමැත්තා කැලණිමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, පෙරේදා (22) දා රාත්‍රියේ පොලීසිය විසින් ඔහු සතුව තිබූ ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට සැකකරු රැගෙන යමින් සිට ඇත.

ගම්පහ, කළු පාලම අසලදී ශරීර අවශ්‍යතාවක් ඉටුකර ගැනීමට අවශ්‍ය බවට සැකකරු පැවසුයෙන් ඔහු වාහනයෙන් බැස්සවීමට සූදානම් වූ අවස්ථාවේ, පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා සැකකරු පොලිස් නිලධාරින්ට වෙඩි තැබීම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු විසින් පෙරළා එල්ල කළ වෙඩි පහරින් තුවාල ලැබූ චමින්ද නමැත්තා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්‍ෂයට පත් වූ බවද පොලීසිය සඳහන් කරයි.

එසේම සැකකරු සිදුකළ වෙඩි තැබීමෙන් පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ අතකට තුවාල සිදුව ඇති අතර, එම නිලධාරියා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සැකකරු කඩුවෙල අධිකරණයේදී 'සමයං’ නමැත්තාට වෙඩි තැබීම සහ කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ අයෙකු බවද පොලීසිය සඳහන් කරයි. මියගිය චමින්ද නමැත්තාගේ මෘත ශරීරය මහේස්ත්‍රාත් පක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා ගම්පහ රෝහලෙහි මෘත ශරාගාරයෙහි තබා තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්‍ෂණය මත වැඩිදුර පක්‍ෂණ අරඹා ඇති බව ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

- තිලකරත්න දිසානායක -