මහ මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්වූ අපේක්ෂකයන් අතරින් මේ වනතුරුත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් අපේක්ෂකයන්ගේ නාම ලේඛනය අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත බාරදීමට කටයුතු කරන බව පැෆරල් සංවිධානය පවසයි.

මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සියලු දෙනා වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනා භාරදී මාස තුනක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත භාරදිය යුතු අතර එයින් ජයගත් අපේක්කයන්ට දිවුරුම් දීමට පෙරාතුව එම ප්‍රකාශ මැතිවරණ කොමිසම වෙත භාරදිය යුතුය.



නාමයෝජනා බාරදී අවසන් වී මේ වන විට මාස පහකට ආසන්න කාලයක් ගතවී තිබේ. මෙවර මැතිවරණයට අපේක්ෂකයන් 7452 ක් ඉදිරිපත්වූ අතර එයින් අති බහුතරයක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි වාර්තා වන බවත් එසේ වත්කම් බැරකම් ප්‍රකාශ බාරදී නැති අයගේ නාමලේඛනය ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මැතිවරණ කොමිසම වෙත අයදුම්පතක් යැවූ බවත් ඊට පිළිතුරු ලද වහා එම තොරතුරු අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ලබාදීමට බලාපොරොත්තු වන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

එසේ බාර දුන් පසු අල්ලස් කොමිසම අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ඇතැයි විස්වාස කරන බවද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය. ජයග්‍රාහී අපේක්ෂකයන් දිවුරුම්දීමට පෙරාතුව මැතිවරණ කොමිසම වෙත වත්කම් බැරකම් ප්‍රකාශය බාරදිය යුතු අතර, දිවුරුම් දීමෙන් පසු කථානායකවරයාට ද එම ප්‍රකාශය භාරදිය යුතු යැයිද හෙතෙම සඳහන් කළේය. එකී ජනතා නියෝජිතයන් අතරින් අමාත්‍ය මණ්ඩලයට පත්වන පිරිස් නැවතත් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු යැයි ද ඒවා ජනාධිපතිවරයා වෙත භාරදිය යුතු යැයිද හෙට්ටිආරච්චි මහතා හෙළි කළේය.

- විනීතා එම් ගමගේ -