රට කරවන්නට නම් දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්ෂණිකවම ඉවත් කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. ජාතික සංවිධායකවරයා මෙසේද ප්‍රකාශ කළේය. “සියලු ජන කොටස් සම්බන්ධ කරගෙන රටට අලුත් ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන ආ යුතුයි.
අණ්ඩදන්න වෙන්නේ නැති ස්ථිරසාර, කාටත් පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ රටට අද අවශ්‍යයි. අලුත් ව්‍යවස්ථාව හදන්න කලින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අයින් කරන්න ඕන. ජනතාව අපට විශාල ජනවරමක් දී ඇත්තේ ඒ කටයුත්ත කිරීමටයි.  ජනතාව ජනාධිපතිතුමා පත් කළේ වසර පහකටයි. දහනවය ඉවත් කළාම ජනාධිපතිතුමාගේ ධුර කාලය අවුරුදු හයක් දක්වා වැඩි වෙනවා. නමුත් ජනාධිපතිතුමා කියන්නේ ධුර කාලය වැඩි නොකළ යුතු බවයි. මේ නිසා ජනාධිපතිතුමාගේ ධුර කාලය වැඩි නොවන විදියට නව ව්‍යවස්ථාව සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේ ජනාධිපතිවරයකුට තුන් පාරක් ඉදිරිපත් විය හැකි යැයි දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වුණා. නමුත් ජනතාව ඊට කැමැති වුණේ නැහැ. මේ නිසා ජනාධිපතිධුරයට දෙපාරක් පමණක් තරග කළ හැකි විදියට එය වෙනස් කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවැනි වගන්තියේ තියෙනවා, ජනාධිපතිවරයකු ජාතික ආරක්ෂාව ඇතුළු විධායක බලය ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඒක තියෙන්නෙ මුලින්ම. නමුත් දැන් තියෙන ව්‍යවස්ථාව අනුව ඒක ප්‍රස්තාර්ථයක්. අනෙක් පැත්තෙන් ඇමැති ධුරයක් දරන්න බැහැ.

මේක ඇත්තෙන්ම අර්බුදයක්. මුලින්ම ඒ ප්‍රශ්නයට විසඳාගෙන ඉන්න ඕන. ජාතික ආරක්ෂාව කියන්නේ විශාල වගකීමක්. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ජාතික ආරක්ෂාව පැත්තෙන් විශාල වැඩ කොටසක් කළ ඒ සඳහා විශේෂ දක්ෂතා තියෙන කෙනෙක්. ඒ නිසා ඒ ප්‍රශ්නයත් නිරවුල් වෙන්න ඕන. හරියට පැහැදිලි වෙන්න ඕන. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සකස් කෙරුණු කමිටු වාර්තා ගණනාවක් තියෙනවා. අපට ඒ කමිටු වාර්තාක් සලකලා බලන්න පුළුවන්. පනස්හයේ ඉඳලා එවැනි කමිටු වාර්තා ආවා. එදා ඒ ව්‍යවස්ථාව හැදුවේ ජනවරමක්  නැති කට්ටියක් යැයි ද ඔහු කීවේය.