කුරුණෑගල නගරයේ බුවනෙක හෝටලය නමින් පැවති කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක වීම ලබන 24 වැනිදා තෙක් අත්හිටුවීමට
අභියාචනාධිකරණය ඊයේ (24) නියෝග කළේය. මෙම නියෝගය ලබාදෙනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ විනිසුරු සෝහිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ කුරුණෑගල නගරයේ ‘බුවනෙක හෝටලය' නමින් පැවති කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගන්නා ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මකවීම බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාවේ නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ රිට් පෙත්සම් ඊයේ (12) සලකා බැලූ අවස්ථාවේදීය. මෙම පෙත්සම් සලකා බැලු අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඒ.එල්.එම්. අමීන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කරුවන්ට එරෙහිව මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධානයට පටහැනිව බවය.

මෙම ස්ථානය පුරාවිද්‍යා පනතේ විධි විධානයන්ට අනුව ස්මාරකයන්ට පුරාවිද්‍යා ආරක්ෂක සහතික නිකුත් නොකරන බවත්, පෙත්සම්කරුවන් මෙය සිතා මතා සිදු කළ දෙයක් නොවන හෙයින් ඔවුන්ට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවන්නැයිද නීතීඥ ඒ.එල්.එම්. අමින් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඊට පිළිතුරු දුන් නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කියා සිටියේ මේ ආකාරයටම පහළ අධිකරණයෙන් නිකුත් කරනු ලබන වරත්තු අත්හිටුවීමට බලවතුන් ඉහළ අධිකරණයට පැමිණියහොත් එය නීතියේ ආධිපත්‍යයට අභියෝගයක් වන බවය.

පුරාවිද්‍යා පනත අනුව කඩා දමා ඇති ස්ථානය පුරාවස්තු ගණයට වැටෙන බවත්, එය පනතේ සිංහල පිටපතේ පැහැදිලිව තිබෙනවා සේ, මෙය පුරාවස්තුවක් බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා නගරාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයිද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කියා සිටියේය.

අනෙක නීතීඥවරුන් පුරාවිද්‍යාඥයන් නොවන බැවින් එම ස්ථානය පිළිබඳ ඔවුන්ට අදහස් දැක්විය නොහැකි බැවින්, මෙම පෙත්සම් නිෂ්ප්‍රභා කරන්නැයිද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස් නුවර පක්‍ෂයේ ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි, වැඩ අධිකාරි සහ අනවසර ඉදිකිරිම් ඉවත් කිරීමේ නිලධාරි ඉලාලු ඩීන් සුල්ෆිකා සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු සූරිය පටබැඳිගේ ලක්‍ෂමන් ප්‍රියත්ත නමැත්තන් අත්අඩංගුවට ගැනීමට නියම කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ චරත්තුව ක්‍රියාත්මක වීම ලබන 24 වැනිදා තෙක් අත්හිටුවීමට නියෝගය කළේය.

මෙම රිට් පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිස් ස්ථානාධිපති ඒ.ඇම්. කපිල අධිකාරි, කුරුණෑගල විශේෂ ඒකකයේ ස්ථානාධිපති රංජිත් කුලතුංග, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති. තමා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගෙන ඇති බව ජනමාධ්‍ය මඟින් දැනගන්නට ලැබුණු බවත්, එය නීතීයට පටහැනි බැවින් එම වරෙන්තු බලරහිත කරන තුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ සිය රිට් පෙත්සම් මගින් ඉල්ලා සිටිති.

නීතීඥ ලංකා ආර්. ධර්මසිරි මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සම් දෙකෙහි මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරුවෝ කුරුණෑගල නගරාධිපති සහ නාගරික ඉංජිනේරුවරයා වෙති. පසුගිය ජූලි 24 වැනිදා කුරුණෑගල නගර සභා සීමාව තුළ පිහිටි රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙක්සම්කරුවන් වෙත චෝදනා එල්ල කළහ. එම කාලය තුළ මහමැතිවරණ ප්‍රචාරණ සිදුවූ කාලයක් බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ වැරදි මත සමාජගත කරමින් පෙත්සම්කරුවන් වෙත චෝදනා එල්ල කළේය. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුද්ගලයකුද අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. මෙම ගොඩනැගිල්ල පුරාවස්තුවක් බවත්, එය කඩා බිඳ දැමීම පුරාවිද්‍යා පනත යටතේ අපරාධමය වරදක් බවත් කියැවිණි.

ඒ අනුව පොලිසිය මඟින් විමර්ෂශනයක් ආරම්භ කෙරිණි. පොලිසියද පෙත්සම්කරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය. පෙත්සම්කරුවන් මෙය රාජකාරිමය පදනමක් මත සිදු කළ අතර, තමා කිසිඳු වරදක් සිදු කර නොමැත. මේ අතර අග්‍රාමාත්‍යවරයා විසින් මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරනු ලැබීය. එහි කමිටුව මඟින් අතුරු කමිටු වාර්තාවක්ද අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

මේ සිද්ධිය පිළිබඳව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත බී වාර්තාවක්ද ගොනු කෙරිණි. මේ අතර මේ සම්බන්ධයෙන් ඊළඟ නඩු දිනයේදී පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ඉල්ලීමක් කරන බව නීතිපතිවරයා මාධ්‍ය මඟින් ප්‍රචාරය කරනු ලැබ ඇත. අදාළ විමර්ශනයෙන් පසුව පෙත්සම්කරුවන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය විසින් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් අගෝස්තු මස හත් වන දා වරෙන්තු ලබාගෙන ඇති අතර එම වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය නීතියට පටහැනි කඩා ඉවත් කරනු ලැබූ ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව පෙන්වා දෙන පෙත්සමෙකරුවන් එම  තත්වය යටතේ පුරාවිද්‍යා පනත පදනම් කරගෙන තමා ඇතුළු පිරිසකට එරෙහිව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය මුළුමනින්ම නීතියට පටහැනි වේ.

මේ හේතුවෙන් තමා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් අගෝස්තු මස 7 වනදා නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් , මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, තමාට සුදුසු වන්දියක් ගෙවන ලෙසට නියෝග නිකුත් කරන ලෙසත් කුරුණෑගල නගරාධිපතිවරයා සහ කුරුණෑගල නගර සභාවේ නාගරික ඉංජිනේරුවරයා සිය රිට් පෙත්සම් මඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ ඒ.එල්.එම්. අමීන් මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පෙනී සිටියේය.