“නොදන්නා පාතාලය ගැන ලියන එක නැවැත්විය යුතු බවත් එසේ නොවුණහොත් මාසයක් යෑමට පෙර එය නවතා දමන බවත්” කියමින් මාධ්‍යවේදීන් වන තිස්ස රවින්ද්‍ර පෙරේරා සහ හේමන්ත ලියනපතිරණ යන මහත්වරුන්ට නාඳුනන පුද්ගලයකු ඩුබායි රාජ්‍යයේ සිට
දුරකතන ඇමතුමක් දී මරණ තර්ජන කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඉකුත්ද (09) කරුණු වාර්තා කළේය.
ඩුබායි රාජ්‍යයේ සිටින චාමර විතානගේ යන නමින් හඳුන්වා ගනිමින් මෙම දුරකතන ඇමතුම දී ඇත්තේ ඉකුත් 02 වැනිදා පෙරවරුවේ ඔවුන් රාජකාරි කරන පුවත්පත් ආයතනයේ ස්ථාවර දුරකතනයට බවත්, එහි කතෘවරයකු මෙම ඇමතුම ලබාගෙන ඇති බවත් කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා ඉකුත් 03 වැනිදාය.
 මෙම පැමිණිලිකරු ජාතික පුවත්පතක නියෝජ්‍ය කතෘවරයකු වශයෙන් සේවය කරනු ලබන අතර,  ආරක්ෂක  පුවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම පාතාල ක්‍රියාකාරකම් සහ එල්. ටී.ටී.ඊ ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති ලියා පළ කර ඇති බවත් මින් ඉහත දිනකදී පැමිණිලිකරුගේ නිවසට යන ගමන් මාර්ගයේ අංක තහඩු වසාගත් වාහනයක් තිබී ඒ  සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියට ද පැමිණිල්ලක් කර ඇති බවත් කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

නිමන්ති රණසිංහ