ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුර කාලයේ ඇතැම් අවස්ථාවලදී ලෝක නායකයන් සමග පැවැත් වූ පෞද්ගලික දුරකථන සංවාදවලදී කියූ දේ හෙළිකරමින් වාර්තාවක් ඉදිරිපත්
කරන්නට සී.එන්.එන්. පුවත් සේවය පසුගියදා කටයුතු යෙදීය. එහි වාර්තාකරුවෙකු වන කාර්ල් බර්න්ටෙන් මෙම අනාවරණය සිදුකර තිබේ.
මෙම සංවාදය අතරතුරදී ට්‍රම්ප් සෑම ලෝක නායකයකු සමගම
සිය ධනවත් බව සහ ව්‍යාපාරිකයෙකු ලෙස ලැබූ සාර්ථකත්වය පිළිබඳව නිරන්තරයෙන්ම අදහස් පළකර තිබෙන බව මෙම අනාවරණය තුළ සටහන්ව ඇත.

එසේම මෙම සංවාදවලදී ට්‍රම්ප් රාජ්‍ය නායකයෙකු ලෙස සිදු නොකළ යුතුව ඇති, ලොව අනෙකුත් නායකයන් වෙත අපහාස වන අන්දමින් අදහස් දැක්වීම් සිදුකර ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ එක් සංවාදයකදී ඔහු බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරියක වන තෙරේසා මේ  'දුර්වල' තැනැත්තියක බව පවසා ඇත. එසේම ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් 'අනුවණ’ තැනැත්තියක බව පවසා ඇත. එසේම වරෙක රුසියානු ජනාධිපතිවරයා හා පැවැති සංවාදයකදී, තමන්ට පෙර එක්සත් ජනපදයේ ජනපතිවරුන් වූ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ බරැක් ඔබාමා යනු පුටින් හා සැසඳීමේදී 'මන්දබුද්ධික සහ දුර්වල නායකයන් බවද ට්‍රම්ප් සඳහන් කර තිබේ.