ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන නිවුන් සොහොයුරන් වන මේජර් ජනරාල් පූරක සෙනෙවිරත්න හා මේජර් ජනරාල් ජයන්ත සෙනෙවිරත්න මහත්වරු ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිනස් වාරිතා පිළිබඳ බලයලත් නියෝජිත වෙත අදාළ ලියකියවිලි ඊයේ (30) බාර දුන්හ.

මේ අයියා මලෝ දෙදෙනා එකම දිනෙක පාසලට ඇතුළත්ව උසස් පෙළ දක්වා එකම පන්තියක අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව එකම දිනෙක යුද හමුදාවට එක්ව එකම දිනෙක අධිකාරියට පත්ව විදේශීය පාඨමාලාවක් එකටම හදාරා එකම දිනවලදී උසස්වීම් ලැබූ දෙදෙනෙකු වන අතර මෙවැනි දෙයක් ලෝකයේ වෙන කිසිම රටක සිදුවී නැති හෙයින් ගිනස් වාර්තා පොතට ඇතුළත් වීමට දෙදෙනා බලාපොරොත්තුවෙන් සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.


මේ නිලධාරින් දෙදෙනා යුද හමුදා සේවයෙන්ද එකම දිනෙක විශ්‍රාම ලැබීමට නියමිතය. ශ්‍රී ලංකා සංඥා බළකායට සම්බන්ධ මේජර් ජනරාල් පූරක සෙනෙවිරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරන අතර මේජර් ජනරාල් ජයන්ත සෙනෙවිරත්න බටහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරයි.

ඔහු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට සම්බන්ධ නිලධාරියෙකි. දෙදෙනා රත්නපුර සීවලී මධ්‍ය විදුහලේ ආදී සිසුවෝ වෙති. මේ නිලධාරීන් දෙදෙනා ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සඳහා අදාළ ලියකියවිලි බාරදීම පිළිබඳ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේදී ඊයේ (30) උදේ පැවැත්විණි.

යුද හමුදාපතිවරයාද මේ නිලධාරින් දෙදෙනාගේ ලියකියවිලි සත්‍ය පිටපත් බවට ගිනස් වාර්තා පිළිබඳ කමිටුවට දැනුම් දුන්නේය. මේ අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ගිනස් වාර්තා පිළිබඳ කමිටුවේ සභාපති සමන් අමරසිංහ මහතාද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ජගත් ගුණවර්ධන මහතා ඇතුළු හමුදා ප්‍රධානීහු පිරිසක්ද සහභාගි වූහ.

- සුජිත් හේවාජුලිගේ -