කොලොන්නාව හා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන් දෙදෙනකු රුපියල් ලක්ෂ 35කට අධික වෙළෙඳ වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කැලණිය පට්ටියහන්දියේ දී ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
පොලිස් උපාය දූතයකු මාර්ගයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් බව ද පොලිසිය පවසයි. මොවුන් ඊයේ පස්වරු 1.15ට පමණ මෝටර් රථයකින් මෙම අයිස් මන්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර පොලිස් උපාය දූතයාට අලෙවි කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් කොලොන්නාව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සැකකරු පාඨමාලාවක් සඳහා ආයතනයෙන් නිවාඩු ලබා සිටි අයකු බව ද පොලිසිය කියයි. මෙම සැකකරුවෝ ඥාති සොහොයුරෝය. මොවුන් දෙදෙනා එක්ව මහපරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරන බවට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරු අනුව පොලිසිය උපාය දූතයන් යොදා සැකකරුවගෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් ඇණවුම් කර ඇත.

එම ඇණවුම් අනුව මොවුන් දෙදෙනා ඒ සඳහා රුපියල් ලක්ෂ 21 ක මුදලක් ඉල්ලා ඇති බවත් සැකකරුවන් ඊයේ පෙරවරුවේ පොලිස් උපාය දූතයා ඔරුගොඩවත්ත ප්‍රදේශයට ගෙන්වාගෙන රුපියල් ලක්ෂ 21 ක් වූ එම මුදල් පරික්ෂා කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මුදල් පරික්ෂා කිරීමෙන් පසුව සැකකරුවන් මත්ද්‍රව්‍ය ලබා දීමට පොලිස් උපාය දූතයා කැලණිය පට්ටිය හන්දියට කැඳවා ඇති බවත් පස්වරු 1.15 පමණ පට්ටිය හන්දියට පැමිණි සැකකරුවන් පොලිස් උපාය දූතයාගෙන් මුදල් ලබාගෙන ඇනවුම් කළ මත්ද්‍රව්‍ය ලබාදුන් අවස්ථාවේ එම ස්ථානයේ රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙනා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්, කැලණිය දිස්ත්‍රික් 1 බාර පොලිස් අධිකාරි චන්දන ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත, පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරආරච්චි, කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් ද සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක සමීර, සැරයන්වරුන් වින ධර්මසිරි (33507), ජයතුංග (33434), කොස්තාපල්වරුන් වන සරත් (6103), කුමාර (68475), හෙන්නායක (88618), සිල්වා (169611) යන මහත්වරුන් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.

- ඉන්දිකා රාමනායක -