එක්සත් ජනපදයේ ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් සමඟ අවුරුදු 15ක් පුරාවට පැවැත්වූ මිත්‍රත්වය පිළිබඳව ඇගේ හිටපු සහයිකාවක පොතක් ලියා තිබේ.

ස්ටෙෆනි වින්ස්ටන් වොල්කොෆ් විසින් රචිත “මෙලනියා සහ මම” නම් වූ මෙම පොත සැප්තැම්බර් 1වෙනි දින එළිදැක්වීමට නියමිතය.
ජනපති ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයෙන් ලාභ ලබමින් සිටි බවට චෝදනාවක් මත 2018දී වින්ස්ට්න් වොල්කොෆ් මෙනවියව ධවල මන්ධිරයෙන් ඉවත් කර තිබේ.
නමුත් වොල්කොෆ් මේ පිළිබඳව අදහස් දක්වා තිබෙන්නේ එය තමාට සිදු වූ ද්‍රෝහි ක්‍රියාවක් බවය.

2017 පැවති උත්සවයට සහ ඊට සමගාමී අවස්ථා සඳහා තම ආයතනයට ඩොලර් මිලියන 26ක් ලැබුණ බවට පැවසීම ඇය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඇය තරයේම කියා සිටියේ තමා ලබාගත්තේ ඩොලර් මිලියන 1.62ක් බවය.
වැනිටි ෆෙයා විසින් ප්‍රකාශිත පොතක විස්තර කර ඇති පරිදි “නිව් යෝක් නගරයේ ජනපති ආර්යාවගේ විශ්වාසවන්ත උපදේශකයෙකු ලෙස තමා ඇරඹූ මිත්‍රත්වය හදිසියේම සහ ප්‍රසිද්ධියේම අවසන් වූ ආකාරය වොල්කොෆ් විසින් රචිත පොතේ සඳහන් කර තිබේ.”
නොවැම්බර් මාසයේදී එරට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර මෙම පොත වෙළඳපොළට නිකුත් වීමට නියමිතය. එම ජනාධිපතිවරණය සඳහා ජෝ බයිඩන්ද නාම යෝජනා භාර දී ඇති අතර මෙම පොත ට්‍රම්ප් පවුල ඇඳාගෙන ලියා ඇති නවතම මතභේදයට තුඩු දෙන පොතය.
හිටපු ජාතික ආරක්ෂක උපදේශකයෙකු වන ජෝන් බෝල්ටන් විසින් රචිත “ද රූම් වෙයා ඉට් හැපන්ඩ්” නම් නවතම පොතේ ට්‍රම්ප් මූලික භූදේශපාලනික කරුණු නොසලකාහරින බවත් නැවත තේරී පත් වීමේ පරමාර්ථය ඇතුව ඔහු තීරණ ගන්නා බවත් සඳහන් කර තිබේ.

මීළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් චීනයේ උපකාර පතනවා කියාත් ඒ අතරේ චීනයේ මුස්ලිම් උයිගර් සුළුතරය සඳහා බලහත්කාර කම්කරු කඳවුරු ඉදි කිරීමේ සැලැස්මට සහය දෙන බවත් ඔහු එම පොතේ චෝදනා ගොනු කර තිබේ. එමෙන්ම ජනාධිපතිවරයාට ‍එරෙහිව දෝෂාභියෝගයක් අවුළුවන ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධ චෝදනාද එම පොතේ සඳහන් කර තිබෙන බව සඳහන්ය.
මේ අතර ජනපතිගේ ලේලිය වන මේරි ට්‍රම්ප්ද මෙම මස අගදී පොතක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ. එහි මාතෘකාව වී තිබෙන්නේ “ටූ මච් ඇන්ඩ් නෙවර් ඉනෆ්: හව් මයි ෆැමිලි ක්‍රියේටඩ් ද වර්ල්ඩ්ස් මෝස්ට් ඩේන්ජරස් මෑන්” යන්නය.
මෙම පොත සඳහා තිබෙන ඇමේසන් බ්ලර්බ් එකක පවසා ඇත්තේ ඇගේ මාමණ්ඩි “දැන් ලොව සෞඛ්‍යයට, ආර්ථික ස්ථාවරත්වයට සහ සමාජමය සැකැස්මට අභියෝග කරන පුද්ගලයෙකු බවට පත් වී ඇති අයුරු” මෙම පොතේ සඳහන් වන බවය.
(බීබීසී ඇසුරිනි)
එස්. දහනායක