තම පුත් ආචිගේ ඡායාරූපයක් විකිණීම සහ ප්‍රදර්ශනය කිරීම නැවැත්වීම සඳහා බ්‍රහස්පතින්දා දින හැරී කුමරු සහ මේගන් මාක්ල් පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඔවුන්ගේ නිවස පිහිටි ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බාධා එල්ල කරමින් එම ඡායාරූපය රැගෙන ඇති බව ඔවුන් පවසයි.

මෙම මාධ්‍ය හිරිහැරය පිළිබඳ නඩුවේදී ඔවුන් විස්තරාත්මක වාර්තාවක් සපයමින් පවසා තිබෙන්නේ ඔවුන් දකුණු කැරොලිනාට ගිය කාලයේ සිටම මේ හේතුවෙන් නිරන්තර සටනක් කිරීමට සිදු වූ බවය.
“තමාගෙම නිවසෙහි සිටින වයස මාස 14ක් වයසැති දරුවෙකුගේ පෞද්ගලිකත්වය උදුරාගමින් ඉන් ලාභ ලැබීමේ උත්සාහක් ලෙස මෙම ඡායාරූපය රැගෙන තිබේ. මෙවැනි උමතුවකින් තම දරුවන්ව ආරක්ෂා කරගැනීම ඕනෑම දෙමාපියෙකුගේ යුතුකම සහ වගකීමයි” පැමිණිල්ලේ සඳහන් විය.
මේගන් සහ හැරී යුවළ පැවසුවේ මෙම ඡායාරූපය සැලසුම්සහගතව රැගෙන විවිධ මාධ්‍ය සඳහා ලබා දී ඇති බවය. මෙය රැගෙන තිබෙන්නේ දෙමාපියන්ගේ අනුදැනුමක් නොමැතිව ඔවුන්ගේ නිවසේම ඉදිරිපස සිටියදී බවත් ඔවුහූ සඳහන් කළහ. නමුත් එය ලබාගත් පුද්ගලයා සඳහන් කර තිබෙන්නේ එය හැරී පවුල නිවසින් පිටත මාලිබූ ප්‍රදේශයට ගිය අවස්ථාවක් බවය.
“ආචි මෙහේ ආ පසුව පොදු ස්ථානවල ඉඳලා නැහැ. මාලිබූ ප්‍රදේශයේද වැඩිපුර සිට නැත” පැමිණිල්ලේ සඳහන් වෙයි.
තම නිවසේ සිටින දරුවෙකුගේ ඡායාරූපය විකිණීම නීත්‍යානුකූල නොවන බව එම පුද්ගලයා දැන සිටි නිසා එය වෙනත් ස්ථානයකදී ලබාගත්තක් ලෙස ලේබල් කළ බව චෝදනා එල්ල වේ.
ඡායාරූප ලබාගත් පුද්ගලයන් සහ විකිණු පුද්ගලයන් ඇතුළුව මෙම සිද්ධියට අදාළ විත්තිකරුවන් සොයාගැනීමට නීතියෙන් උත්සාහ කරන බව සඳහන්ය. ඉන්පසුව අදාළ සියලුම ඡායාරූප ඉවත් කර හැරී පවුලට හිරිහැර කිරීම නතර කරන ලෙස නියෝග කිරීමට නියමිතය.
ඔවුන් වෙසෙන නිවසේ සිට යාර සියගණනක් එහායින් ඇති උස් බිමක සිට ටෙලිෆොටෝ කාච සහිත ඡායාරූප ශිල්පීන් තම ඡායාරූප ගැනීම වැළැක්වීමට ඔවුන්ට විශාල දැල් වැටක් ඉදි කිරීමටද සිදු වූ බව පැමිණිල්ලේ සඳහන් වෙයි.
ඉන්පසුව ඔවුන්ගේ ඡායාරූප ලබාගැනීමට උත්සාහ දරන ඩ්‍රෝන ඔවුන්ගේ නිවසට අඩි 20ක් පමණ ඉහළින් පියාසැරීමට පටන්ගත් බවද දිනකට එවැනි ඩ්‍රෝන 3ක් පමණ ගමන් කළ බවද චෝදනා එල්ල වෙයි. ආචි සහ අසල්වැසියන්ගේ නින්දට බාධා කරමින් උදෑසන 5:30ට හෙලිකොප්ටර ගමන් කළ බවත් ඇතැම් ඡායාරූපකරුවන් ඔවුන්ගේ ඡායාරූප ලබාගැනීම සඳහා ඔවුන් ඉදි කර තිබූ දැල් වැටේ සිදුරු සාදා ඇති බවත් එල්ල වන චෝදනා අතරට අයත්ය.
දෙවෙනි එළිසබෙත් රැජිනගේ මුනුපුරා වන හැරී කුමරු 2018දී ලොස් ඇන්ජලීස්වල හැඳී වැඩුණ ඇමරිකානු නිළි මේගන් මාක්ල් සමඟ විවාහ විය. වින්ඩ්සර් මාලිගාවේ පැවති එම උත්සවය ලොව පුරා සිටින පුද්ගලයන් නැරඹූ සුපිරි විවාහ මංගල්‍යයක් ලෙස සැලකේ.
ජනවාරි මාසයේ නිකුත් කළ නිවේදනයක ඔවුන් උතුරු ඇමරිකාවට යන බව සඳහන් විය.
අර්ධකාලීනව හෝ තමන් උතුරු ඇමරිකාවේ දිවි ගෙවීමට තීරණය කළේ “එක්සත් රාජධානියේ නිරන්තර මාධ්‍ය ප්‍රබන්ධයන්ට තමාව ඈඳා ගැනීම” නැවැත්වීමට බව එම යුවළ පවසයි. තම පෞද්ගලිකත්වයට බාධා වීම සහ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම අරබයා මේගන් තවත් මාධ්‍ය ආයතන දෙකකට විරුද්ධවද නඩු පවරා තිබේ.
කැනඩාවේදී ඔවුන්ට සති හයක් පුරා නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලැබුණද ඉන්පසු බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකරුවෙක් ඔවුන් පදිංචි ස්ථානය හෙළි කළ පසු බොහෝ ඡායාරූප ශිල්පීන් ඔවුන් සිටි ස්ථානයට පැමිණීමට පටන්ගත් බවට චෝදනා එල්ල වේ. ඔවුන් කැලිෆෝනියාවට ගොස් තිබෙන්නේ එවිටය. නමුත් එහිදීද නැවතත් ඔවුන්ගේ නිවහන ප්‍රකාශයට පත් කෙරුණු අතර කැමරාකරුවන්ගෙන් තොරව විසුමක් නොවීය.
ඔවුන්ට පැවරී තිබෙන රාජකාරීවලදී හැර අනෙකුත් අවස්ථාවලදී මහජන අවධානයට ලක් නොවී සිටීමට මෙම යුවළ හැකි තාක් උත්සාහ කර ඇති බව සඳහන්ය. පොදු කාර්යයන්වල නිරත වන අතරම සෑම පවුලකටම සහ පුද්ගලයෙකුටම අයිතියක් තිබෙන පරිදි තම පෞද්ගලික ජීවිතය පවත්වාගැනීමද තමන්ට වැදගත් බව ඔවුන් පවසා තිබේ.
(“නිව්ස්18” ඇසුරිනි)
එස්. දහනායක