මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කොට්ටාව නගරයේදී ඉකුත් 22 වැනිදා රාත්‍රී, සිදුකළ හදිසි ආහාර වැටලීමකදී සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර, මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ස්ථාන තිහක් වටලා, ඉන් ස්ථාන අටකට රතු නිවේදන නිකුත් කොට අලෙවිසල් හයකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව, මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.


මෙහිදී කොට්ටාව නගරයේ ආපනශාලා, හෝටල්, සිල්ලර වෙළඳසල්, ෆාමසි, පළතුරු කඩ, ජංගම අළෙවි  කුටි ඇතුළු ස්ථාන විසි හතක්  පරික්ෂාවට ලක් කළ බව පැවසේ.


 එහිදී නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය, ලේබල් නොමැති ආහාර වර්ග ගබඩා කර තැබීම, පිසූ ආහාර හා වියළි ආහාර එකම ශීතකරණයක ගබඩා කර තැබීම, දින ගණනක් පොල්තෙල් බහාලු එකම භාජනයකින් ආහාරයට නිෂ්පාදනය කිරීම, අවිධිමත් ආහාර ගබඩා පවත්වාගෙන යාම ඇතුළු වැරැදි ගණනාවක් අනාවරණය වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු රුපියල් 65000 වටිනා කුකුල් මස් කිලෝ 120, කොත්තු රොටි සැදීමට භාවිතා කරන රොටී කිලෝ විස්සක්, උම්බලකඩ සම්බෝල සහිත බෝතල් 15, සෝස් බෝතල් 12 ඇතුළු භාණ්ඩ රැසක් මහජන සෞඛ්‍යයට පරික්ෂකවරුන් භාරයට ගෙන විනාශ කිරිමට පියවර ගත් බව පවසයි.

පදික වේදිකාවේ ජංගම කුටි තුළ කඩල අලවියත් සමග ඉමිටේෂන් රන්භාණ්ඩ අලෙචි කරන ස්ථානයක්
ද හමුවූ බව කියයි.  පසුව පරීක්ෂාවට ලක් කළ, ස්ථාන අටකට රතු නිවේදන නිකුත් කොට, අලෙවිසල් 6 කට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරිම හා බෝ වන රෝග  පාලනයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට පැමිණ සිටියදී මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් මෙම වැටලීම සිදු කිරීම විශේෂත්වයක් විය. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රිසින් මාරසිංහ මහත්මියගේ උපදෙස් මත, පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක විජේසිරි මහතාගේ මෙහෙයවීමෙන්, කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න, තුසිත ශ්‍රීරාම්, එස්.ඩී. කාන්ත් මහතා ඇතුළුව ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගී වී සිටියහ.

(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)