පෞද්ගලික බස්රථ ධාවනය කිීරීමේදී  පවතින ගැටලු විසදන මෙන් රජයෙන් කළ ඉල්ලීමට කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොමැති බැවින්, අද (20 සිට) පෞද්ගලික බස් රථ ධාවනය සියයට පනහකින් අඩු කරන බව
සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. පෞද්ගලික බස් රථවලට ඉන්ධන සහනාධාරයක් ලබාදෙන ලෙස හෝ එසේ නොමැතිනම් ගාස්තු සියයට පනහකින් වැඩි කර දෙන ලෙස පෞද්ගලික බස් හිමියන් රජයෙන් ඉල්ලා සිටි බවත්, එසේ නොමැතිනම් කිලෝමිටරයකට රුපියල් 10 බැගින් සහනාධාරයක් ගෙවන ලෙස ඉල්ලා සිටි බවත් විජේරත්න මහතා කීවේය.

මේ අතර රක්ෂණයක් පිළිබඳ කළ ඉල්ලීමට මෙන්ම කාලසටහන් සකසන්නැයි කළ ඉල්ලීමට ද රජයේ කිසිදු ප්‍රතිචාරයක් නොමැතිවීම පිළිබඳව බස් හිමියන් කලකිරීමෙන් පසුවන බව ද හෙතෙම පැවසීය. පවතින තත්වය යටතේ දැනට ධාවනය කරන බස් රථ ප්‍රමාණයෙන් සියයට පනහක් ධාවනය කිරීමට තීරණය කළ බවත්, එම බස් ප්‍රමාණය ද ධාවන වාර ගණන අඩු කරමින් ධාවනය කිරීමට කටයුතු කරන බවත් ඔහු කීය. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ, පෞද්ගලික බස් රථ සේවා ගමන් වාර අඩු කිරීමක් සිදුකළ හොත් ලංගම ඊට සාපේක්ෂව බස් රථ වැඩි කර ධාවනය කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවය. ලංගම කලාපීය කළමනාකරුවන් ගෙන්වා අද සවස සාකච්ඡාවක් පවත්වන බවත්, ජනතාවට පාරේ රස්තියාදු වීමට ඉඩ නොතබන බවත් ඔහු සඳහන් කළේය.


-විනීතා එම්.ගමගේ-