මෑත සති තුළදී දිල්ලියේ කොරෝනා පර්යේෂණ ඉහළ දමා තිබේ.
ඉන්දියාවේ අගනගරය වන දිල්ලියේ සෑම පදිංචිකරුවන් හතරදෙනෙකුගෙන් එක් අයෙක්ම පාහේ කොරෝනා වෛරස් රෝගයට ගොදුරු වී ඇති බව අහඹු ලෙස පුද්ගලයන්ගෙන් ලබාගත් නියැදිවල පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

රුධිර සාම්පල පරීක්ෂාවට ලක් කරන ලද පුද්ගලයන් 21,237කින් සියයට 23.48කගේම සාම්පලවල කෝවිඩ්-19 ප්‍රතිදේහ දක්නට ලැබූ බව රජයේ සමීක්ෂණයකින් පෙන්වා දෙයි.

එමෙන්ම මේ වන විට තහවුරු කර තිබෙන ආසාදිතයන් ගණනට වඩා වැඩි පිරිසක් අතර දිල්ලියේ මෙම වෛරසය ව්‍යාප්ත වී ඇති බවට අනුමාන කරයි. මේ වන තෙක් දිල්ලියේ ආසාදිතයන් 123,747ක් වාර්තා වී තිබෙන අතර එය එහි මිලියන 19.8ක ජනගහනයෙන් සියයට 1කට වඩා අඩුය.
පුද්ගලයන් විශාල ප්‍රමාණයකගේ රෝග ලක්ෂණ නොපෙන්වන බව රජයේ ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් විය. ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෛරසයට ගොදුරු වීමේ අවධානමට ලක් වන බවත් ආරක්ෂාව සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තදින් අනුගමනය කළ යුතු බවත් එහි තවදුරටත් සඳහන් විය.
මෙම පර්යේෂණය මගින් ඉන්දියාවේ වෛරසය ව්‍යාප්තිය වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට බලධාරීන් හැකියාව ලැබෙන නිසා එය තීරණාත්මක පර්යේෂණයක් බව විශාරදයෝ පවසති.

පරීක්ෂණ පැවැත්වීමේ පහසුකම් වඩා හොඳින් ලබා දීමටත් ප්‍රදේශයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමටත් මෙම පර්යේෂණය මගින් ‍මඟ පෙන්වන බව පැවසේ.
ඉන්දියාවේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශය දිල්ලියය. ජූනි මස මුල් සති දෙකේදී ආසාදිතයන්ට ඇඳන් හිඟයකට මුහුණ දීමට සිදු විය.
නමුත් එතැන් සිට රෝහල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කර ඇති අතර දිනපතා වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවද පහළ ගොස් තිබේ.
පසුගිය මාස දෙක පුරාවට දිල්ලියේ දිනකට ආසාදිතයන් 1200 සිට 1600 දක්වා වාර්තා වී ඇති අතර ජූනි අවසන් සතිය වන විට දිනකට වාර්තා වන නව ආසාදිතයන් සංඛ්‍යාව ඉන් භාගයක් දක්වා පහළ ගොස් තිබේ.

සඳුදා දින අගනුවරින් වාර්තා වූයේ ආසාදිතයන් 954ක් පමණය.
ආසාදිතයන් සංඛ්‍යාව මෙලෙස පහත වැටීමට හේතු ලෙස පර්යේෂණ පවත්වන සංඛ්‍යාව වැඩි කිරීම, ආසාදිතයන්ගේ සමාජ සබඳතා පිළිබඳ සොයා බැලීම, සීමා තහංචි සහ නිරෝධායනය සැලකිය හැකිය.  කොරෝනා මරණ සංඛ්‍යාවේ අඩු වීමක්ද නව දිල්ලියෙන් වාර්තා වේ.
(බීබීසී ඇසුරිනි)

එස්. දහනායක