උණ රෝගය වැළඳී හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය තරුණයා කොරෝනා රෝගියකු නොවන බව වෛද්‍ය පරීක්‍ෂණයෙන් තහවුරු වූයේ යැයි හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂ කපිල මල්ලවආරච්චි මහතා පැවැසිය.



ඔහු සම්බන්ධයෙන් පවත්වන ලද විශේෂ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව අනුව ඒ බව තහවුරු විණි යැයි වෛද්‍යවරයා සඳහන් කළේය.


මෙසේ මිය ගොස් ඇත්තේ මාරවිල බටහිර වීරහේන ප්‍රදේශයේ විසු එම්. නිරෝෂන් මධුවන්ත (23) නමැති විවාහකයෙකි.  ඔහු මුන්දලම ප්‍රදේශයේ පදිංචි සිය මවගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවේදී උණ රෝගයට ලක් වී ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉකුත් 10 වැනිදා මුන්දලම රජයේ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් හලාවත දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති අතර රැගෙන යන අතරතුර ඔහු මිය ගොස් තිබිණි.

ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇත්දැයි සැකයක් මතු වූ බැවින් පී.සී.ආර්. පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගත් අතර එම වාර්තාව පෙරේදා (11) දහවල් ලැබුණු බවත් ඒ අනුව රෝගියාට කොරෝනා රෝගය වැළඳී නැති බව අනාවරණය වී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා කීය.

පසුව මෙම මෘත ශරිරය සම්බන්ධයෙන් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් හා මරණ පරීක්ෂණයක් පවත්වා කොරෝනා නීති රීති යටතේ එම දේහය සම්බන්ධ අවසන් කටයුතු හලාවත, ආදාහනාගාරයේ සිදුකිරීමට පියවර ගත් බව ද රෝහල් අධ්‍යක්ෂවරයා කීය.

- ඔගස්ටින් ප්‍රනාන්දු -