එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුව හමුවේ නිදහසට කරුණු දක්වතැයි බලපිටිය ප්‍රාදේශීය සහාවේ විපක්ෂ නායකවරයාට හා මන්ත්‍රීවරුන් හතර දෙනකුට එවා තිබු ලිපි එම මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේම ඉරා දමා ගිනිතබා නළලේ  අළු ගා ගත්හ.  එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය විවේචනය කිරීම, පක්ෂයේ කටයුතුවලට සහයෝගය නොදීම, සමගි ජනබලවේගයට සහයෝගය දීම, මන්ත්‍රීවරුන්ට හා පාක්ෂිකයන්ට බලපෑම් කිරීම
යනාදී චෝදනා නගමින් එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුවේ නීති ලේකම් නීතිඥ අසේන්ද්‍ර සිරිවර්ධන මහතා එවා තිබූ ලිපි මෙසේ ඉරා පුළුස්සා දැමූහ. මේ මස 07 දිනට පෙර නිදහසට කරුණු දක්වන ලෙස එම ලිපි මගින් මෙම මන්ත්‍රීවරුන් හතර දෙනාට දැනුම් දී තිබුණි.

සමගි ජනබලවේගයේ බලපිටිය ප්‍රධාන සංවිධායක නීතිඥ කමල් ජයන්ත ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් බලපිටියේදී පෙරේදා (01) පස්වරුවේ පැවැති මාධ්‍යය හමුවකදී එම ලිපි ඉරා දමා ගිනිතබා පුළුස්සා දැමූහ. බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක එම්.ඩබ්ලිව්. සෙනරත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ජී. පවරසිරි ද සොයිසා, කල්‍යාණි  මැන්ඩිස් හා ඖෂිලා ද සොයිසා යන මහත්ම මහත්මීන්ට එම ලිපි එවා තිබිණි. බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක එම්.ඩබලිව්. සෙනරත් මහතා මාධ්‍ය හමුවේදී මෙසේ පැවැසීය.

 'මේ සන්ධානය හදන්න හා අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම්කර අනුමැතිය දුන්නෙ එක්සත් ජාතික පක්ෂයේ කෘතාධිකාරි මණ්ඩලය. ඒ අනුවයි අපි සමගි ජනබලවේගයට සහයෝගය දෙන්නේ. මහා මැතිවරණයට එජාපය වෙනම නාමයෝජනා දුන් නිසයි මේ අවුල ඇතිකර ගත්තේ . රටේ පළාත් පාලන මන්ත්‍රීවරු පළාත් සභා හා පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීවරු බහුතරයක් ඉන්නේ සමගි ජනබලවේගය පැත්තේ. අපි මේ තනතුරුවලට පත් කළේ ජනතාව. අපි හිටගන්නේ ජනතාව හිටගන්න පැත්තේ . මේ වගේ කඩදාසි එවලා අපේ දේශපාලන ගමන නතර කරන්න කාටවත් බැහැ. සමස්ත ලංකාවේ ඉන්න පළාත් පාලන මන්ත්‍රීවරුන්ට කියන්නේ බය නැතිව එකතුවන්න කියලා. ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට පිටුපසෙන් පිහියෙන් ඇනපු අය දැන් එළිපිට පපුවට පිහියෙන් අනිනවා.

එජාප මූලස්ථානය හදන්න මුල්වුණේ බලපිටියේ උපන් ශ්‍රීමත් සිරිල් ද සොයිසා හා ලලිත  රාජපක්ෂ වැනි බලපිටි වීරවරයන්. දැන් ගාල්ලේ ඉන්න පොකට් කාරයෝ ඩීල් කාරයෝ තමයි. කෘත්‍යධිකාරි මණ්ඩලයේ වාඩිවෙලා ඉන්නේ. හංසයාගෙන් තුන් පාරක් ජනාධිපතිවරණයට එනකොට මේ ඩීල් කාරයන්ට අලියා මතක් උනේ නැද්ද. . සමඟි ජනබලවේගයේ බලපිටිය ආසන සංවිධායක නීතිඥ කමල් ජයන්ත ද සොයිසා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන්වන කල්‍යාණි මෙන්ඩිස් හා ඊ. ඖෂිලා ද සොයිසා යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.

-හේමන්ත ද සිල්වා-