බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ තරුණයෙකුට එරෙහිව එල්ල කර තිබූ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කුරූණෑගල පළාත්බද මහාධිකරණ විනිසුරු සහන මාපා බණ්ඩාර මහතා පෙරේදා (30දා) නියම කළේය.
 නිකවැරටිය පදිංචිකරුවෙකු වන ගාමිණී ජයරත්න (31) නමැත්තා එසේ නිදොස් කොට නිදහස් කෙරිණි.

ජින්ටෙක් ආයතනය විසින් නිකුත්කළ ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තාවක් සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වයා චුදිතව මෙසේ නිදොස් කොට නිදහස් කරන ලදී.
දෙදහස් දහතුන වසරේ සැප්තැම්බර් මස විසිදෙවන දින හෝ ඊට ආසන්න දිනකදී නිකවැරටිය කොබෙයිගනේ ප්‍රදේශයේ 15 හැවිරිදි ළාබාල දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව යටතේ ගාමිණී ජයරත්න සහ කොබෙයිගනේ ප්‍රදේශයේම පදිංචිකරුවකු යන දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින්අධිචෝදනා ගොනු කර තිබුණි.
මෙම නඩුවේ පළමුවැනි විත්තිකාර ගාමිණී ජයරත්න නමැත්තා පෙරේදා අධිකරණයට මගින් නිදොස් කොට නිදහස් කරද්දී මෙහි දෙවැනි විත්තිකරු මෙම නඩුව මහාධිකරණයේ විභාගයට ගැනීම ආරම්භ කළ අවස්ථාවේදී එල්ල කර තිබූ චෝදනාවලට වැරදිකරු බවට පිළිගැනීම හේතුවෙන් මේ වනවිට දීර්ඝකාලීන සිර දඩුවමකට ලක්ව සිටීමද විශේෂ කරුණකි.
අධිකරණයට පැමිණිල්ල ඉදිරිපත් කළ කොබෙයිගනේපොලීසිය සඳහන් කර තිබුණේ පාසල් අධ්‍යාපනය අතරමඟ නතර කර සිටි දැරියට කටුනායක ඇගලුම් කම්හලක රැකියාවක් සොයා දෙන බවට පොරොන්දුවී විත්තිකරුවදෙදෙනා ඇයව රැගෙන ගොස් කටුනායක ප්‍රදේශයේදී ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවය.
පසුව ඇය ඔවුන්දෙදෙනාගෙන් බේරී පැමිණ කුලියාපිටිය  ප්‍රදේශයේ සිටින තම පෙම්වතාගේ නිවසට ගොස් එහි ගතකර ඇති බවද පෙම්වතා විසින් අයගේ දෙමාපියන් වෙත භාර දීමෙන් දැරියගේ පියා විසින් තම දියණියට සිදුව තිබූ අතවර සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබූ බවද පොලිස් පැමිණිල්ලෙහි සදහන් විය.
ඒ අනුව  පරීක්ෂණ සිදු කර විත්තිකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන අදාළ පරික්ෂණ මෙහෙය වූ  බවද පොලීසිය අධිකරණයට ඉදිරිපත්කළ කරුණු මගින්  සදහන්වීය.
අතවරයට පත්  දැරිය සාක්ෂි දෙමින් තම ගමේ මිතුරෙකු වූ දෙවැනි විත්තිකරු තමන්ට ඇගළුම් කම්හලක රැකියාවක් සොයා දෙන බවට පොරොන්දු කටුනායක ප්‍රදේශයට කැඳවාගෙන ගොස් එහිදීම ඔහුගේ මිතුරෙකු වූ පළමුවැනි විත්තිකරුද සමග එක්ව කටුනායක ප්‍රදේශයේ වගුරු බිමක් සහිත ස්ථානයකදී තමාව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට අධිකරණය හමුවේ ප්‍රකාශකර තිබුණි.
පැමිණිලිකාර දැරිය  පරික්ෂාවට ලක් කළ එවකට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ලෙස සේවය කළ අජිත් ජයසේන මහතා දැරිය අපයෝජනයට ලක්ව ඇති බව අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ සදහන් විය.
 විත්තියේ සාක්ෂි විමසන අවස්ථාවේදී සාක්ෂි ලබා දෙමින් පළමුවැනි විත්තිකරු කියා සිටියේ තමන් මෙම අපයෝජන සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති බවත් කොබෙයිගනේ පොලීසිය නිකරුණේ තමන්ට එරෙහිව  එල්ල කර ඇත්තේ අසත්‍ය චෝදනාවක් බවත්ය.
 මෙහිදී පළමුවැනි විත්තිකරු වෙනුවෙපෙනී සිටි නීතිඥ සංජීව  මහතා මෙම නඩුවට අදාළව ඩී.එන්.ඒ.පරික්ෂාව සිදු කළ කොළඹ ජින් ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවත් ඉලේපෙරුම මහතා සාක්ෂි සඳහා කැඳවීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
 ඒ අනුව මෙම නඩුව වෙනුවෙන් කුරුණෑගල මහාධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්ෂි ලබා දුන් ආචාර්ය ඉලේපෙරුම මහතා ප්‍රකාශ කළේ මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කරතිබූ පැමිණිලිකාර දැරිය අපයෝජනයට ලක්වන අවස්ථාවේදි හැඳ සිටි යටකලිසමේ තැවරී තිබූ ස්‍රාවයක් සහිත පැල්ලමක් සහ ඇගෙන් ලබාගෙන තිබූ යෝනි සුවය හා විත්තිකරුවන් දෙදෙනාගෙන් ලබාගෙන තිබූ රුධිර සාම්පල සමග සැසදීමේදී ඒවා එකින්නෙකට නොගැළපෙන බවය . මේවායේ ඩී.එන්.ඒ. රටාවන් එකින්නෙකට වෙනස් බවද ආචාර්ය ඉලේපෙරුම මහතා අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කළේය. මෙම ජින්ටෙක් ආයතනයේඩී.එන්.ඒ. පරික්ෂණ වාර්තාව නොතිබුණනම් තම සේවාදායකයාටද දෙවැනි විත්තිකරුට මෙන් අසත්‍ය චෝදනාවකට නිකරුණේ වැරදිකරු වී සිර දඩුවම් විදීමට සිදුවන බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළ විත්තියේ නීතිඥ සංජීව විජේපාල මහතා දැරියට මෙම අතවරය වූයේ ඇයගේ පෙම්වතා අතින් බවට තමන් යෝජනා කරන බවද පැවසීය.
අධිකරණය හමුවේ ඉදිරිපත් වූ පැමිණිල්ලේ සාක්ෂි පරස්පරවීම සහ ජින්ටෙක් ආයතනයේ වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගත් කුරුණෑගල මහාධිකරණ විනිසුරු සහන මාපා බණ්ඩාර මහතා මෙම  නඩුවේ පළමුවැනි විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ  සියලු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කරන බව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සදහන්කළේය.
පැමිණිල්ල වෙනුවෙන්යේ නීතිඥ මලික් අසීස් මහතා පෙනී සිටියේය.

ගීතාංජලී ප්‍රියදර්ශනී