විශේෂ කාර්ය බළකාය මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ මෙහෙයුම් වලින් ටී-56 ඇතුළු ගිනිඅවි 168 ක් සමඟ සංවිධානාත්මක අපරාධකරුවන් 70ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ඊයේ (28 වැනිදා) පැවසිය.
අත්අඩංගුවට ගත් මෙම අවි අතර ටී-56 ගිනිඅවි 15ක්, ෂොට්ගන් 42ක්, පිස්තෝල 3ක්, රිවෝල් 4ක්, මෙරට නිෂ්පාදිත අවි 80ක් හා හඳුනා නොගත් අවි 15ක් තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මැගසින් 8 ක්, සජීවි පතරොම් 1018 ක් හා අත්බෝම්බ 47ක් ද මෙම මෙහෙයුම්වලදී සොයා ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කළ වැටලීම් 1407කින් සැකකරුවන් 1303ක් අත්අඩංගුවට ගෙන ඇති බවද හෙතෙම කීය.

මෙම මෙහෙයුමේ දී හොරොයින් කිලෝ 116 ට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 775 ක් ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ක් සමඟ සැකකරුවන් 77දෙනෙකු ද කේරළ ගංජා වැටලීම්වලින් සැකකරුවන් 279 දෙනකු සමඟ කේරළ ගංජා කිලෝ 279ක් ද ගංජා වැටලීම්වලින් ගංජා කිලෝ 1602ක් සමඟ සැකකරුවන් 100 ද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ජුලි මාසය තුළ විශේෂ කාර්ය බළකාය කළ වැටලීම්වලදී ටී-56 ගිනිඅවි 12ක්, ටී-81 වර්ගයේ ගිනිඅවියක්, බෝර 12 අවි 8ක්, ගල්කටස් අවි 2ක් ඇතුළු ගිනිඅවි සොයාගත් බවද හෙතෙම කියා සිටියේය.

ගංජා හේන් අක්කර 58ක් පවත්වාගෙන ගිය සැකකරුවන් 72ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජ්ර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සෘජු අධීක්ෂණ යටතේ, වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත, විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් සියලු මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මේ බව කියා සිටියේ ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.


- ඉන්දිකා රාමනායක -