නාකොටික් නිලධාරීන් සමග එක් වී හෙරොයින් ජාවාරමේ යෙදුණු චමින්ද ප්‍රියංකර මල්ලවආරච්චි හෙවත් "ටයිල් චමින්ද" නැමති සැකකරුගේ ගිණුමට රුපියල් කෝටි 37කට වැඩි මුදලක් (මිලියන තුන්සිය හැත්තෑ තුනයි හත්ලක්ෂ විසිපන්දහස් තුන්සිය හතරක්) බැරවී තිබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය ඊයේ (22දා) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ත කළේය. හෙරොයින් ග්‍රෑම් 500ක් සමග මිනුවන්ගොඩ
පොලීසිය මගින් ජුනි මස 12 වැනිදා අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ, යටියන පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන අරඹා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය ඊයේ (22දා) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය.


විදේශගතව සිටින කටුනායක, කුරණ, හමුදා කඳවුර පාරේ පදිංචි සුරසිංහ ආරච්චිලාගේ ගිහාන් ෆොන්සේල්කා නමැති අය හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරගතව සිටියදී ටයිල් චමින්ද නමැත්තා මීගමුව බන්ධනාගාරයේදී ගිහාන් ෆොන්සේකාව හමු වී ඇති බවත්, ගිහාන් ෆොන්සේකාගේ උපදෙස් මත චමින්ද නමැති සැකකරු 2018 වර්ෂයේ ජුනි මස 20 වැනි දින දිවුලපිටිය නගරයේ පිහිටි පුද්ගලික බැංකුවක ගිණුමක් අරඹා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (මුල්‍ය) නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේය. 2018/06/20 සිට 2020/06/15 වැනිදා වනවිට රුපියල් තුන්සිය හැත්තෑ තුන් මිලියන හත්ලක්ෂ විසිපන්දහස් තුන්සිය හතරක මුදලක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එම ගිණුමට බැරවී ඇති බවත්, විවිධ ප්‍රදේශවලින් එම ගිණුමට බැරවන මුදල් ගිහාන් ෆොන්සේකාගේ උපදෙස් මත සැකකාර ටයිල් චමින්ද විසින් තෙවැනි පාර්ශ්වයකට ලබාදී ඇති අතර, 2020/06/15 වැනිදා වනවිට එම ගිණුමේ තිබු අවසාන ශේෂය රුපියල් එක්ලක්ෂ අසූ තුන්දහස් හාරසිය අසූ අටක් බවත් අනාවරණය වී තිබේ.

එම ගිණුමෙන් 2020 ජුනි මස 12 වැනිදා මිනුවන්ගොඩ නගරයේ පිහිටි පුද්ගලික බැංකුවකට චෙක්පතක් මගින් රුපියල් දසලක්ෂ හැට දහසක් බැරවී ඇති බවත්, එම මුදල බැරවී ඇත්තේ සැකකාර චමින්දට අයත් ගිණුමකට නොව වෙනත් නමක් ඇති අයෙකුගේ ගිණුමකට වන අතර, එම බැංකු ගිණුම් දෙක අහිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව එම ඒකකයේ ඉල්ලීම මත බස්නාහිර පළාත් බද මහාධිකරණය මගින් එම ගිණුම් දෙක අත්හිටුවා ඇති බවත් අධිකරණයේදී සඳහන් විය. තවද ගිහාන් ෆොන්සේකා නමැති අය ඩුබායිහි සිටින බවට සැකකාර චමින්ද ප්‍රකාශයක් ලබාදී ඇතත්, ගිහාන් ෆොන්සේකා විදේශ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන විදේශ ගතවී නොමැති බව අනාවරණය වී තිබේ.


සැකකාර ටයිල් චමින්ද නැමැත්තා දාගෝල්ල ප්‍රදේශයේ වෙන්දේසි කරන ඉඩමකින් කැබලි 03ක් වෙන් කරගෙන ඒ සඳහා රුපියල් හත්ලක්ෂ පනස් දහසක් ගෙවීම් කර ඇති බවත් අනාවරණය වී තිබේ. සැකකාර ටයිල් චමින්දගේ දිවුලපිටියේ පිහිටි බැංකු ගිණුමට දංකොටුව ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ ගිණුමකින් අවස්ථා 10කදී රුපියල් හතළිස් හත් ලක්ෂ තිස්දහසක මුදලක් ලැබීම සම්බන්ධව විමර්ෂන සිදු  කළ බවත්, හෙරොයින් ජාවාරම්කරුවෙකු තැරැව්කාර ගිණුම් හිමියා මගින් සැකකාර චමින්දගේ ගිණුමට මුදල් බැර කරවන අතර, ඒ සඳහා හෙරොයින් ජාවාරම්කරු ගිණුම් හිමියාට මාසයකට රුපියල් 15000ක් බැගින් ගෙවා ඇති බවත් අනාවරණය වී තිබේ.

2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 03 (01) (අ) සහ (ආ) යන වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් බැවින් වැඩිදුර විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන  ඒකකය අධිකරණයට කරුණු වාර්තතා කළ අතර,  ඉදිරි විමර්ශන සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා  කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (මූල්‍ය) නිලධාරීන්ට ඊයේ (22දා) නියම කළේය.


-ටෝනි කරුණායක-