මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර ප්‍රධානියකු, සිය ගෝලයා  ලවා බැංකු ගිණුම් 35 කට අධික ප්‍රමාණයකට මුදල් හුවමාරු කරගෙන ඇතැයි තොරතුරු අනාවරණය විය.
 මීගමුව බන්ධනාගාරයේ හිටපු මෙම බන්ධනාගාර ප්‍රධානියාගේ සහායකයා වශයෙන්  සිටි බන්ධනාගාර නියාමකවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු අනාවරණය වී ඇතැයි ද එම උසස් නිලධාරියා පැවසීය.
මෙම බන්ධනාගාර නියාමකවරයා ලෙඩ නිවාඩු මත රාජකාරි වාර්තා නොකර 
සිටින නිලධාරියකු වන බවත් සිද්ධියට අදාළව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී මෙම කරුණු තහවුරු කරගෙන ඇති බවත් උසස් නිලධාරියා සඳහන් කළේය. දිනකට මුදල් සහිත කවර පහක් හයක් පමණ අදාළ බන්ධනාගාර ප්‍රධානියා මෙම නියාමකවරයාට ලබා දී ඇති බවත් විවිධ බැංකුවල පවත්වාගෙන යන ගිණුම්වල  අංක ලබාදී එම ගිණුම්වලට බැර කරන ලෙසට එම ප්‍රධානියා තමාට උපදෙස් ලබාදී ඇති බවත් එම නියාමකවරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හමුවේ ප්‍රකාශ ලබාදී ඇතැයි ද එම උසස් නිලධාරියා පැවසීය.

 මෙම මුදල් සහිත කවර හුවමාරුකර ගනේ මීගමුව බන්ධනාගාරයේ  ආපනශාලාව තුළදී බවත් බන්ධනාගාර නිලධාරියා ලබාදෙන්නේ ගිණුම්වලට තමන් විසින් එම මුල් බැංකු ගත කළ බවත් එම  නියාමකවරයා ප්‍රකාශ කර ඇතැයි ද එම  උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.
 මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ බව  කියන වංචා, දූෂණ රැසක් සම්බන්ධයෙන්
මේ වන විට අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක විශේෂ විමර්ශනයක් ආරම්භ කර  ඇති අතර, බන්ධනාගාර උසස් නිලධාරීන් ඇතුළු නිලධාරින් 40 දෙනකුට අධික පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයී.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට ආරක්ෂක   ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට කරන ලද දැනුම්දීමට අනුව ය.
 මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රබල ගණයේ හෙරොයින් ජාවාරම්කරුවගේ සිරකුටිවල තිබී ශීතකරණ, විදුලි උදුන් සහ සුබෝභෝගි ආහාර ඇතුළු භාණ්ඩ රැසක් බන්ධනාගාර බුද්ධි අංශය විසින් මීට සති කිහිපයකට  ඉහතදී කරන ලද වැටලීමක දී අත්අඩංගුවට  ගෙන තිබිණි.

නිමන්ති රණසිංහ