විදුලි ඒකක 120ක් පමණ දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයන්ගේ මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල බිල්පත් සඳහා ගාස්තු සහනයක් ලබාදිය හැකිදැයි සලකා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා
විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී ඇත.

එම මාසවලදී විදුලි ඒකක 0 සිට 90 දක්වා භාවිත කළ පාරිභෝගිකයන්ගේ විදුලිබිලෙන් සියයට 25ක් අඩුකිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන් බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (9) පැවසීය.

ඊට අමතරව එම ගාස්තු ගෙවීම සඳහා මාස තුනක සහන කාලයක් ලබාදීමටත්, ප්‍රමාදය වෙනුවෙන් දඩ මුදල් අය නොකිරීමට හා එතෙක් විදුලිය විසන්ධි නොකිරීමටත් අමාත්‍ය අමරවීර මහතා යෝජනා කළ බව ද ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

මෙම සහන ලබාදීම විදුලි ඒකක 120ක් පමණ දක්වා වැඩි කළ හැකිදැයි සලකා බැලීමට හා තවත් සහන දීමට හැකිදැයි යන්න මහා භාණ්ඩාගාරය නිලධාරීන් සමඟද සාකච්ඡා කර එම සහන ද සමඟ යෝජනාව ලබන කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා ඇමැති අමරවීර මහතාට උපදෙස් දුන් බව ද ගුණවර්ධන මහතා කීවේය. ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් වුවත් විදුලි බිල්පත් ඉහළ ගොස් ඇත්තේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාව වැඩි කලක් නිවෙස්වල සිටි නිසා බැවින් සුව සහනයක් ලෙස සලකා ඔවුන්ට මෙම සහනදීමට තීරණය කර ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

 මහින්ද අමරවීර අමාත්‍යවරයා මණ්ඩලයේ අලාභය දරාගෙන ඉදිරිපත් කර ඇති එම සහන මල්ල මගින් රටේ පවුල්වලින් සියයට 73කට සෘජු සහනයක් ලැබෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රජයට කොතරම් අලාභ වුවත් පාරිභෝගිකයන්ට තවත් සහනයක් දිය හැකිදැයි සලකා බැලීම අමාත්‍ය මණ්ඩලයේම අදහස වූ බව කී ඇමතිවරයා ඒ අනුව එම සහන පැකේජය ලබන සතියේ නැවතත්  කැබිනට් අනුමැතියට ඉදිරිපත් වනු ඇති බව ද කීවේය.

එහිදී දැනට යෝජිත සහන අඩුනොවන අතර එම සහන තවත් වැඩිවනු ඇතැයි ද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

(ඩයනා උදයංගනී)