මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 11 දෙනා ගාල්ලේ ට්‍රෝලර් යාත්‍රාවක ධීවරයකුට රුපියල් කෝටියක මුදලක් ගෙවා ඇතැයි පොලිසිය සිදුකරන පරීක්ෂණවල දී  අනාවරණය කරගෙන තිබේ.  ඈත මුහුදේ සිට අත්අඩංගුවට ගන්නා  හෙරොයින් හොර රහසේ ගොඩබිම වෙත
රැගෙන ඒමට ගාල්ලේ ට්‍රෝලර් යාත්‍රාවක ධීවරයකු උපකාර කර ඇති අතර මෙම මුදල් ඔහුට ගෙවා ඇත්තේ එසේ හෙරොයින් රැගෙන ඒමේ කාර්ය සඳහා බවත් මෙම ධීවරයා දැනට අත්අඩංගුවේ පසුවෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙසේ ගෙවූ මුදල් සොයා ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාරිතමේන්තුව පරික්ෂණ පවත්වාගෙන යයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත් හෙරොයින් හා අයිස් මන්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 43ක තොගයක් සොරාගෙන ඒවා ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරමකරුවෙකුට අලෙවි කළ බවට ද අත්අඩංගුවේ පසුවන නිලධාරින් 11 දෙනාට චෝදනා එල්ල වී තිබේ.

අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළි වූ තොරතුරු මත වැලිවේරිය ප්‍රදේශයේ පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබූ පිස්තෝලයක් හා රුපියල් ලක්ෂ 11 1/2ක මුදලක් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබේ. සැකකාර පොලිස් නිලධාරින් පොලිස් මත්‍රව්‍ය නාශක කාර්යංශයේ ගබඩාවෙන් සොරාගත් මත්කුඩු තොගයේ බරට සරිලන සේ හෙරොයින් වලට පාන් පිටි ද අයිස් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ලුණු කැට ද කලවම් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් හා වත්කම් සම්බන්ධයෙන් ද පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය-