ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය සඳුදා ජිනීවා හිදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ, ඇමෙරිකා හා දකුණු ආසියා කලාපයේ රටවල් 10කින් ඉරිදා වාර්තා වූ ආසාදිතයන්ගෙන් 75%ක්ම වාර්තා වී ඇති බවයි.
                 
                                               
"ඉරිදා දිනයේ ආසාදිතයන් 136,000කට වඩා වාර්තා වී තිබෙනවා. මේ දක්වා එක් දිනක් තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ දිනය මෙයයි. ඒ වගේම ඉරිදා දිනයේ ආසාදිතයන්ගෙන් 75%ක්ම පැමිණ ඇත්තේ රටවල් 10කින්. ඒ වැඩි දෙනා ඇමෙරිකා කලාපයෙන් සහ දකුණු ආසියාවෙන් වාර්තා වී තිබෙනවා.”

"අප්‍රිකා කලාපයේ බොහෝ රටවල් තවමත් COVID-19 ආසාදිතයන්ගේ වැඩි වීමක් අත්විඳිමින් සිටිනවා. එම කලාපයේ සමහර නව භූගෝලීය ප්‍රදේශවල ආසාදිතයන් වාර්තා වන අවස්ථා ඇතත්, අප්‍රිකා කලාපයේ බොහෝ රටවල ආසාදිතයන් 1,000කට වඩා අඩු සංඛ්‍යාවක් පවතිනවා” ටෙඩ්‍රොස් පවසා සිටියේය.

මේ අතර ලතින් ඇමෙරිකානු කලාපය තුළ සිදුවන නව කොරෝනා වෛරස ආසාදිතයන් සහ මරණ ලොව මෙතෙක් නොවූවිරූ මට්ටමකින් ඉහළ නැඟ තිබෙන බව වාර්තා සඳහන් කරයි. ඒ අනුව බ්‍රසීලය ප්‍රධානව මෙක්සිකෝව සහ පේරු යන රාජ්‍යයන්හිදී වාර්තා වන COVID-19 සිදුවීම් සැලකිය යුතු තත්වයක් ගෙන තිබේ.

බ්‍රසීලය තුළ පසුගිය සඳුදා දිනයේදී පමණක් නව ආසාදිතයන් 15,654 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව එරට සමස්ත වෛරස ආසාදිතයන් ගණන 707,412 කි. එසේම සඳුදා දිනයේදී CPMD-19 මරණ 679ක් එරටින් වාර්තා වී ඇති අතර, ඒ සමග සිදුව ඇති මරණ සංඛ්‍යාව 37,134ක් බවට පත්ව තිබේ. මේ සියල්ලත් සමග අද වනවිට ලොව පුරා දෙවැනි වැඩිම ආසාදිතයන් සිටින රට බවටත් බ්‍රසීලය පත්ව තිබේ.

 මෙක්සිකෝව තුළින් සඳුදා දිනයේදී නව ආසාදිතයන් 2,999 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව  120,102ක් බවට පත්ව තිබේ. එසේම ඉරිදා දිනයේදී සිදුවුණු මරණ 354ත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 14,053ක් බවට පත්ව ඇත.

පේරු රාජ්‍යය තුළ සඳුදා දිනයේදී නව සිදුවීම් 3,181ක් වාර්තා වී ඇත. ඒ අනුව එරට සමස්ත සිදුවීම් 199,896ක් වී තිබේ. එසේම සඳුදා සිදුවුණු COVID-19 මරණ 106ත් සමග සමස්ත මරණ 5,571ක් බවට පත්ව තිබේ.

මේ වාතාවරණයත් සමග ලතින් ඇමෙරිකා කලාපය COVID-19 වසංගතය සම්බන්ධයෙන් ලොව අන් කිසිදු තැනකදී වාර්තා නොවූ තත්ත්වයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන මෙම කලාපයට අයත් ඇමෙරිකා එක්සත් ජනපදය ලොව වැඩිම නව කොරෝනා වෙරස ආසාදිතයන් වාර්තා වන රට ලෙස පත්ව තිබේ. එහි මේ වනවිට ආසාදිතයන් ලක්ෂ 19.6ක් ඉක්මවා වාර්තා වේ. එසේම දකුණු ආසියාවේ ඉන්දියාවෙන් ආසාදිතයන් 267,000ක් සහ පාකිස්තානයෙන් ආසාදිතයන් 108,000ක් ඉක්මවා වාර්තා වෙයි.