ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය (අයි.සී.සී) විසින් සිදුකරන පරීක්ෂණයට මුහණ දී ඉන් නිදොස් වන  තුරු හිටපු ටෙස්ට් ක්‍රිකට්ක්‍රීඩකයෙකු වන ජයනන්ද වර්ණවීරට  ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබේ.

ඒ පසුගිය සඳුදා (08දා) පැවැති විධායක කමිටු රැස්වීමේදීය. එම විධායක කමිටු රැස්වීමේදී ඔවුන් තීරණය කර ඇත්තේ ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී මාර්ගයෙන් ඒ සම්බන්ධව ලිඛිතව දැනුම් දීමටයි.
මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීරට එල්ල වූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා අවස්ථා කිහිපයකදී කැඳවීම් කර තිබුණද ඔහු ඒ සඳහා සහභාගි නොවුණි. ඒ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට සියලුම ක්‍රිකට් කටයුතු තහනම් කළේය.
 කෙසේ වෙතත් එම තහනම නිමාවීමෙන් පසු වර්ණවීර පසුගිය සති කිහිපයේ මාධ්‍යයට පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් ධුරයට තරග කිරීමට තමාගේ සුදානමක් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් තමන් ක්‍රිකට් ආයතනයද දැනුවත් කර  ඇති අතර, ක්‍රිකට් ආයතනය මාධ්‍යයේ පළ වූ පුවත් වාර්තතා
ගෙනහැර දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයෙන් මේ පිළිබඳව විමසීමක් කර තිබේ.  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල්ගේ අනුදැනුම මත ඔවුන් ක්‍රිකට් ආයතනයට ලිඛිතව දක්වා ඇත්තේ වර්ණවීරසම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විවෘත මනසකින් කටයුතු කරන බවත්, ඔහුට ඕනෑම අවස්ථාවක අදාළ පරීක්ෂණයට මුහුණදිය හැකි බවත්ය.

පැතුම් විජේරත්න