දින, සති, මාස ගෙවමින් වසරින් වසර අප වියපත් වී ජීවිතයට උපන්දින ගණනාවක් එකතු වන්නේ අපටත් නොදැනෙන ලෙසිනි. ප්‍රවීණ රංගන ශිල්පිනී තරුෂි පෙරේරාගේ උපන් දිනය අදට යෙදී තිබේ. මෙවර උපන් දිනය ගැන කතා කිරීමට  එකතු වන්නේ ඒ ආදරණීය රංගන ශිල්පිනියයි.

තරුෂීගේ ඉපදීම ගැන අම්මා, තාත්තා මොනවද කියලා තියෙන්නේ?
අම්මා තාත්තා කියපු විදියට නම් මගෙ උපත වාසනාවන්ත උපතක් විදියට තමයි කියන්නේ. අපේ තාත්තා ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ තමයි නිරතවෙලා ඉන්නේ. ඉතින් මම ඉපදුන දවස්වල  ඉදිකිරීම් කොන්තරාත්තු වගයක් ලැබිලාත් තියෙනවා. ඒ නිසා මාව බලන්න එන්න පරක්කු වෙලාත් තියෙනවා. ඒ සිදුවීම අම්මා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මගෙ පවුලෙ නැදැයොත් ගොඩක්ම එකතු වෙලා තියෙනවා. මොකද මගෙ අම්මගෙ පවුලෙන් අම්මා තමයි මුලින්ම විවාහ වෙලා තියෙන්නේ. අඩු වයසෙන් අම්මා විවාහ වෙලා තියෙන්නෙත්. ඉතින්  ඒ ලොකු පවුලට එකතු වුණු මුල්ම දරුවා වෙලා තියෙන්නේ. මම ඒ නිසාම මාමලා, නැන්දලා හැමෝගෙන්ම ලොකු ආදරයක් ලැබිලා තියෙනවා. ඒ මම ගෙදරට එළියක් ගෙනාවා කියලා. එතැනින් පස්සෙ මගේ නංගියි පවුලෙ අනිත් අයයි ළඟ ළඟ ලැබුණා. නමුත් නංගිලා දෙන්නයි මල්ලියි එකතුවුණු මගෙ  පවුලේ වැඩිමලා මම නිසා හැමෝන්ගෙන්ම ආදරය ලබා ගන්න පුළුවන් වුණා කියන දේ තමයි දැන ගන්න ලැබුණේ.


ඒ කාලෙ කොයි විදියටද උපන් දිනය සමරලා තියෙන්නේ?
මම පවුලට මුලින්ම එකතු වුණු දරුවා නිසා හැමෝන්ගෙම ආදරේ වගේම තෑගි භෝගත් ගොඩක් ලැබිලා තියෙනවා. අම්මා  කොහොමත් උදෙන්ම පන්සල් යනවා. බෝධි පූජා තියෙනවා. සෙත් කවි කියලා ඒ තුළින් ආශිර්වාද ලබා ගන්නවා. ඒ දේවල් මූලිකවම සිදු කරලා තියෙනවා. ඊට අමතරව ඉතින් අම්මා ලස්සන ඇඳුම් මහලා දීලා තියෙනවා. මම ගොඩක් ආසයි ළමා සාරියට. ඒකත් අම්මා ලස්සනට මහලා දීලා තියෙනවා. මම වැඩිවියට පත් වුණාමත් විශේෂ ලස්සන ගවුමක් අම්මා ලස්සනට හදලා දුන්නා මතකයි. ඉතින් මම මොන විදියටද කැමති ඒ හැම විදියටම ලස්සන ඇඳුම් අම්මා හදලා දෙනවා. මාව සප්‍රයිස් වෙන විදියට, තාත්තාත් ඒ වගේ. ලස්සන දේවල් අරන්  දෙනවා. අම්මා, තාත්තා, මාමලා, නැන්දලා හැමෝගෙන්ම ඒ කාලෙ තෑගි, ඇඳුම් ගොඩක් දේවල් ලැබුණා. කේක් කපලා  එහෙම ඒ කාලෙ ළමා වයසෙදි සතුටු වෙන්න ඕනෑ නිසා ඒ උපන් දින ඒ විදියට සැමරුණා. නමුත් ටිකින් ටික තේරෙන වයසට එද්දී නම් ඒවගෙන් ටිකක් මිදිලා  උපන්දින සැමරුම් සිදුවුණේ ළමා නිවාසවල එහෙම. පුළුවන් විදියට අසරණ මිනිසුන්ට පිහිට වෙන්න පුළුවන් පැත්ත බලලා ඒවා  සිදු කළා.

මෑතකදී සමරපු උත්සවයක් තියෙනවාද?
මගේ උපන් දිනය නම් මම දැන් සමරනෙ නැති තරම්. මොකද මට දැන්  ඊට වඩා විශේෂ දෙයක් ගැන හිතන්න තියෙන්නේ. ඒ මගෙ පුතාගේ උපන් දිනය. පුතාගේ උපතත් මැයි මාසෙ 27 වෙනිදා.  ඉතින් දැන් මගෙ ජීවිතේ වටිනාම දවස වෙන්නේ මැයි 27. මගේ හැම උපන් දිනයකට  වඩා දැන් මට විශේෂ ඒ දවස. ඉතින් මම ඒ දවස මගෙ නිවසේම හෝ පුළුවන් විදියකට සමරනවා. ඉතින් දැන් මට මැයි මාසෙ ගොඩක්ම වැදගත් වෙන්නෙ මීට අවුරුදු 5කට පෙරදි මට ලැබුණු මගෙ පුතාගෙ උපත නිසා. පුතාගෙ සතුට වෙනුවෙන් තමයි ඉතින් දැන් අපි හැමදේම කරන්නෙ.

අමතක නොවනම උපන් දිනයක් ගැන මතකයේ තියෙනවද?
අම්මෝ ඔව්. ඒ මගෙ 16 වෙනි උපන් දිනය. ඒ මතකය ගැන කතා කරන්නවත් කැමතිනම් නැහැ. ඒ තරම් ඒ දවස මට අවුල්. අවුරුදු 16 කියන්නේ අපි සාමාන්‍ය පෙළට මුහුණ දීලා එහෙම ඉන්න කාලෙනෙ. අපේ සෙල්ලම් වයස. ඉතින් ඒ දවසෙ මට විවාහ යෝජනාවක් ආවා. ඒ වගේ  පොඩි වයසක ඒවගේ යෝජනාවක් ආවම මට උපන් දිනයම එපා වුණා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වෙලත් තිබුණා. ඒත් ඒ ප්‍රශ්න නිසා ඒ සතුට භුක්ති විඳිනවත් මට ලැබුණේ නැහැ.


රූගත කිරීම් අතරතුරදී සමරපු උපන්දින එහෙම තියෙනවද?
එහෙම තියෙනවා. මෙවරත් ඒ දේ සිදුවෙයි සමහර විට. නීළ පබළු හෝ දෙවැනි ඉනිම රූගත කිරීම් අතරතුරදී ඇත්තටම රූගත කිරීම් අතරතුර ඒ සැමරිම් හරිම විනෝදයි. එහෙම අවස්ථා ගොඩක් තියෙනවා. ගිය අවුරුද්දෙත් මම උපන් දිනය දවසේ රූගත කිරීමක හිටියෙ. ඉතින් කේක් එකක් කපලා ඒ විදියට සමරලා සතුටක් ලබනවා වගේම තමයි. අම්මා, තාත්තා, පවුලෙ අයගෙන් පසුව ලැබෙන ප්‍රේක්ෂක ආදරය. ඔවුන්ගේ සුභ පැතුම් මට ඉතා ඉහළයි. මම දන්නෙ නැති පළාත්වලින් කවදාවත් දැකලාවත් නැති අය කතා කරලා සුභ පතද්දී මට හිතෙනවා මගෙ ඉපදිම හරහා සහ මම රටේ ඉන්න තැන හරහානෙ ඒ සුභ පැතුම් එකතු කරන්නෙ කියලා. ඉතින් ඒ ප්‍රේක්ෂක ආදරය නිසා මට මං ගැනම ලොකු ආදරයක් ප්‍රේක්ෂකයන්ගෙ ඒ ආදරය සුභ පැතුම් මට ලොකු ආශිර්වාදයක්. මැරෙනකම් මට ඒ සතුට විඳින්න පුළුවන්.

ඒ වටිනා සුභ පැතුම් එක්ක විශේෂ වූ තෑග්ගක් ගැන එහෙම මතකයේ තියෙනවද?
විශේෂ උපන් දින තෑග්ගක් කියන්නේ ඉතින් මට මගේ මහත්තයා මුණ ගැහෙන්නේ අප්‍රේල් මාසෙ. 2013 අප්‍රේල්වල. ඉතින් ඒ මාසෙ ඉඳලා මැයි 31 මගේ උපන් දිනය දවස වෙද්දි අපේ ආදරේ ගොඩක් අලුත්. ඉතින් ඔහුගෙන් එදා ලැබුණු හැම තෑග්ගක්ම අද වෙද්දිත් මගේ ළග සුරැකිව තියෙනවා. ඒ ලැබුණු මල් පොකුරේ ඉදන්ම. ඒ මල් දැන් පරවෙලා තිබුණත් පරවුණු කුඩු ටික පවා මම අරගෙන තියාගෙන ඉන්නෙ. ඒ වගේම ටෙඩියෙක් ඇතුළු තෑගි කිහිපයක්ම තියෙනවා. ජංගම දුරකතනයක් ඔරලෝසුවක්. ඉතින් ඒ හැමත් මට ගොඩක් වටිනවා. ඒ නිසා හරිම පරිස්සමින් ඒවා ළග තියාගෙන ඉන්නවා.

ධනු විජේරත්න (lankadeepa)