රට තුළ COVID-19 වසංගතය පාලනයෙන් පසුව 2020 අගෝස්තු මස 01 වැනි දින සිට සෑම රටකින්ම ජාත්‍යත්තර සංචාරකයන් පිළිගැනීමට ශ්‍රී ලංකාව සුදානමින් සිටින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව සංචාරකයින් සදහා රට නැවත විවෘත කිරීම සදහා ගෝලීය සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් විසින්
නිර්දේශ කරනු ලබන සියලුම පූර්වාරක්ෂාවන් සිය අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇතැයි එහි සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.
 ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙන්ම හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2020 අගෝස්තු 01 වන දින සිට සියලු ජාතීන්ට අයත් ජාත්‍යන්තර සංචාරකයන් සඳහා විවෘත කෙරෙන බව අධිකාරිය පවසා සිටියි.
ඒහිදී වීසා බලපත්‍ර නිකුත් කිරීම අතර්ජාලයෙන් පමණක් සිදු කරන අතර, සංචාරය කිරීමට පෙර වීසා සඳහා අයදුම් කළ යුතුව ඇත. ඒ අනුව 2020 අගෝස්තු 01 වැනිදා සිට අන්තර්ජාල වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා වන
අවශ්‍යතා ලැයිස්තුවක්ද අධිකාරිය මගින් නිකුත් කර තිබේ.
ඒ අනුව මෙරටට පැමිණීමට පැය 72කට පෙර PCR පරීක්ෂාවක් සිදු කිරීම අනිවාර්ය වී ඇති අතර, එය 'නෙගටිව්'  තත්වයේ පැවතිය යුතුය. එසේම අදාළ සංචාරකයා සහතික කළ නවාතැන්වල අවම වශයෙන් දින පහක් නවාතැන් ගත යුතුව ඇත, වලංගු ටිකට් පතක් මෙන්ම සෞඛ්‍ය සහ රෝහල්ගත ආවරණයක් සහිත සංචාරක රක්ෂණයක්ද එම පුද්ගලයා සතුව තිබිය යුතුය, ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් 100ක වීසා ගාස්තුවක්ද සංචාරකයෙකුගෙන් අය කෙරේ.
"මෙලෙස ඩොලර් 100ක වීසා ගාස්තුවක් අය කිරීමට හේතුව අර්ධ වශයෙන් පීසීආර් පක්ෂණවල පීරීවැය
සහ අතිරේක සෞඛ්‍ය සහ ආරක්ෂක පියවර එයින් ආවරණය කිරීමයි.” සභාපතිනිය පවසයි.
මෙහිදී සංචාරකයින් නිරෝධායන ක්‍රියාපටිපාටියකට භාජනය විය යුතු නැති අතර, ඔවුන් සඳහා අනිවාර්ය සෞඛ්‍ය පරික්ෂාවක්, විෂබීජ නාශක ක්‍රියාවලියක් සහ පී.සී.ආර්. පක්ෂණයක් නොමිලේම ගුවන්තොටුපොළේදී පවත්වන බවත් අධිකාරිය සඳහන් කරයි.
 "එම පරීක්ෂණ පැය 24ක් ඇතුළත අපේක්ෂා කරන අතර, ප්‍රතිඵල පැමිණෙන තුරු සියලුම සංචාරකයන් ගුවන්තොටුපොළ ආසන්නයේ නම් කරන ලද හෝටල් වෙත පෙර වෙන්කරවාගත් ප්‍රවාහන හරහා මාරු කර යැවේ." යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වෙයි.

භානුක අමරසිංහ