සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 37 වටිනා වෛද්‍ය උපකරණ තොගයක් හෝමාගම වැතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතව තිබූ උත්සවයක් මැතිවරණ කොමිසන් සභාවේ මැදිහත්වීමෙන් අද (23) අත්හිටුවීමට පියවර ගත්තේය.
වෑතර දිසා රෝහලේ විශාල අඩුපාඩුවක්ව පැවති රෝගීන්ගේ හෘද වස්තුව පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක්, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙසේ පරිත්‍යාග කිරීමට උත්සවයක් සංවිධානය කර තිබිණි.

මෙම උත්සවය පෙරවරු 10 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් පැයක පමණ කාලයක් ප්‍රමාද වූ අතර එම අවස්ථාවේ දී උත්සව භූමියට පැමිණි මොරටුව සහකාර පොලිස් අධිකාරී රමිඳු ද සිල්වා මහතා සහ කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා සංවිධායකයින්ට දන්වා සිටියේ මෙම උත්සවය  නවතා දමන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

එහිදී බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් අබේගුණරත්න මහතා මෙම ප්‍රදානය දේශපාලන කෝණයෙන් නොබලන දිළිඳු ජනතාවට ලබාදෙන ප්‍රදානයක් ලෙස ලබා දීමට සලකා බලන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියේය.

එහෙත් ඊට අවසර ලබා දීමට නොහැකි බව පොලිසිය සංවිධායකයින්ට දන්වා ඇත.

පසුව මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් පොලිසිය වෙත එවා තිබූ ලිඛිත දැන්වීමක් ද  සංවිධායකයින්ට ඇසෙන සේ  ප්‍රකාශයට පත් කළ අතර එහි සඳහන්ව තිබුණේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සහ දේශපාලනඥයින් සහභාගී නොවී අදාළ පරිත්‍යාගය කරන ලෙසට මැතිවරණ කොමිසම සංවිධායකයින්ට  දන්වා සිටින බවයි.