පෙරපාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳ තීරණය පළමු ශ්‍රේණියේ දරුවන්ට පාසල් ආරම්භ කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ ආරක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය.
 සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව
දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජූලි පළමු වැනිදා සිට විවෘත කිරීමට තීරණය කළ බවද ඒ මහතා සඳහන් කළේය.
දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරිපත් කර තිබේ.  ඒ අනුව, හුස්ම හිරවීමේ අවදානමක් ඇති බැවින් වයස අවුරුදු 2ට අඩු දරුවන්, ළදරුවන්ට හා ළමයින්ට මුහුණු ආවරණ පැලදීමෙන් වැළකිය යුතු බවත්, වයස අවුරුදු3 සිට 5 දක්වා පෙරපාසල් දරුවන්ට මුහුණු ආවරණ පැලඳීමේ සංකල්පය ඉගැන්විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල්වලට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ගේ සඳහන් වේ.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල් කළමනාකාරීත්වය විසින් අමාත්‍යාංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතික කර පළාත් පාලන ආයතනයට හා ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීම අනිවාර්ය බවද අදාළ මාගෝපදේශයන්ගේ ඇතුළත්ය.

 එමෙන්ම කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි යම් රෝගී තත්වයක් ඇති දරුවන් පෙරපාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත නොඑවීමට දෙමවුපියන් වගබලාගත යුතු බවත්, පෙර පාසල හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුළදී එවැනි යම් රෝගී තත්ත්වයක් මතු වුවහොත් එම දරුවන් වෙන් කර තැබීම සඳහා යහනක් සහිත ස්ථානයක් පැවතිය යුතු බවත් ඇතුළු සෙඛ්‍යාරක්ෂිත උපදෙස් මාලාවක් අමාත්‍යාංශය විසින් කළමනාකාරීත්වයට, ගුරුවරුන්ට හා දෙමවුපියන්ට ලබාදී තිබේ.

(නවෝද්‍යා පවනි)