මාතලේ මහවෙල හතමුණාගල ප්‍රදේශයේදී අධිවොල්ටීයතාව ඇති විදුලි රැහැනකින් විදුලි සැර වැදී එක්දරු පියකු සහ තරුණයකු පෙරේදා 6 වැනිඳා එම ස්ථානයේදීම මිය යාමේ සිදුවීම මේ වනවිට බොහෝ සේ
කථාබහට ලක්වන දෙයක් බවට පත්ව තිබේ.
 සිද්ධියෙන් මිය ගොස් තිබුනේ මාතලේ සැලගම පදිංචි රණසිංහ මුදියන්සේලාගේ රන්දිල් පියුමන්ත ජයසිරි (23) හැවිරිදි තරුණයකු සහ මාතලේ සැලගම වැලිකන්ද පදිංචි සචිත ප්‍රසාද් ජයවර්ධන (27) හැවිරිදි එක්දරු පියකු බව පොලිසිය කියයි.
කොස් හා පොළොස් කැඩීම සඳහා කුඩා ලොරි රථයකින් මෙම හතමුණගල ප්‍රදේශයට තරුණයන් තිදෙනකු පැමිණ ඇති අතර ලොරි රථය නවතා තිබියදී අසල තිබූ කොස් ගසක අත්තක් කඩා වැටී අධිබලැති විදුලි රැහැනක පැටලී ලොරිය මතට වැටීමෙන් විඳුලි සැර වැදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
මියගිය රන්දිල් පියුමන්ත යුද හමුදාවට ආහාර සපයන ආයතනයකට කොස් හා පොළොස් සපයන අතර ඔහු 06 වැනිදා හතමුණාගල අංකන්ද ප්‍රදේශයට තවත් දෙදෙනකු ද සමග පැමිණ ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
කුඩා ලොරි රථයකින් හතමුණගාල ප්‍රදේශයේ අකන්ද වත්ත පෞද්ගලික ආයතනයට අයත් භූමියේ කොස් කැඩීමට තිදෙනකු පැමිණි බවත් ලොරි රථය කොස් ගසක් යට නතර කර විනාඩි කිහිපයක් ගතවනවාත් සමග පැමිණි සුළු සුළගකින් ලොරි රථය නවතා තිබූ ස්ථානයේ පිහිටි කොස් ගසෙන් අත්තක් කඩාවැටුණු බව වත්තෙහි මුරකරු පැවසීය.
ලොරි රථයෙන් පැමිණි තිදෙනාගෙන් දිවි ගලවා ගත් ප්‍රියන්කර සඳරුවන් හැඬු කඳුළින් මෙසේ කීවේය.
අපි ඇවිත් ලොරිය නැවත්වුවා විතරයි.විශාල සුළගක් සමඟ  කොස් අත්ත කඩා වැටුණා.කම්බි උඩට වැටීලා ලොරිය උඩට වැටුණා . ඒත් සමගම  විශාල ගිනි  ජාලාවක් ඇති වුණා.එක යාළුවකුට විදුලි සැර වැදුණා .අනෙක් යාළුවා  බේරගන්න ගියා. යනවාත් සමඟ ඇඳලා  වගේ ගියා.ඊට පස්සේ මම කෑගහලා අවට ඉන්න අයට කිව්වා සිදුවුණ දේ සිතා ගන්න බැහැ.
 මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් එස්.ජී.එස්. සකුන්තලා  මහත්මිය සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙස මාතලේ මහ රෝහලේ  අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළාය.
මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.ඩී.එස්.
 පී. සන්දනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ සහකාර
පොලිස් අධිකාරි අජිත් වංශනාත මහතාගේ මෙහෙයවීම මත  මහවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  චන්ද්‍රසිරි නවගමුව පෙරේරා මහතා ඇතුළු නිලධාරිහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වූහ.

(නාඋල- ඉන්දික අරුණ කුමාර සහ මාතලේ මහේෂ් කීර්තිරත්න)