ඇතැම් දේශපාලඥයන් විසින් අංගුලිමාල චරිතය හා විනයාගමූර්ති මුරලිදරන් (කරුණා) චරිතය සමාන කර කතා කිරීම සම්පූර්ණයෙන්ම වැරදි සහගත වන බවට ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති පූජ්‍ය, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කර සිටියහ.
 උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ,
නාරාහේන්පිට පිහිටි රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන මූලස්ථානයේ ඊයේ (29දා) මාධ්‍ය හමුවක් කැඳවමිනි.
 මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක නිරත වූ උන්වහන්සේ,
"ඇතැම් දේශපාලකයන් අංගුලිමාල චරිතය හා කරුණා අම්මාන්ගේ චරිතය සමාන කර කතා කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. අංගුලිමාල හිමියන් රහත්භාවය ලැබූ මහතෙරනමක්. උන්වහන්සේ
කිසිදිනක අතීතයේ තමන් කළ වැරදි පිළිබද උද්දාමයට පත්වූයේ නැහැ. අද කරුණා තමන් කළ වරද ගැන පසු තැවෙනවා වෙනුවට තමන් කළ වරද උද්දාමයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා” යනුවෙ‍න් පැවසූහ.

මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතාද එක්ව සිටි අතර, එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, කරුණාගේ ප්‍රකාශය අපරාධ නීතිය අනුව වැරදි බවත්, එය සුදුසු
අධිකරණයකදී පරීක්ෂා කර දණ්ඩනය ලබාදිය හැකි වරදක් වන බවත්ය.
"මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට පවා යා හැකියි. 1949 පිනිවා ජාත්‍යන්තර සම්මුතීන්වලින්ද ම කරුණා අම්මාන්ගේ ප්‍රකාශය වැරදි වෙනවා. එම නිසා මේ සම්බන්ධයෙන් වහාම නීති ක්‍රියාත්මක කළ යුතුයි" යනුවෙන්ද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

නිදර්ශනී  වික්‍රමසිංහ