විද්‍යුත් ජාතික හැදුනුම්පත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පිරිනැමීම සදහා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කර ඇති නිර්දේශය දෙකම ප්‍රතික්ෂේප කර එය රජයේ මුද්‍රණ
දෙපාර්තමේන්තුවට පැවරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
 ඒ සඳහා වන යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා විසින් කැබිනට්  මණ්ඩලය වෙත ඊයේ (24) ඉදිරිපත් කරන  ලදැයි දැනගන්නට තිබේ.

 ඒ අනුව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින්  සිදුකිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 15 ක් පමණ වාර්ෂිකව අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා ඇත.
මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ  50  මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට  දීමට පසුගිය ආණ්ඩුව සමයේ පත් කරන ලද ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය තීරණය කර තිබිණි.
 ඉන් එක් සමාගමක් ඇමෙරිකානු ඩොලර් දහනව ලක්ෂයක පමණ මිලක් ඒ සදහා ඉදිරිපත් කර තිබූ අතර තවත් සමාගමක් ඇමෙරිකානු ඩොලර් ලක්ක 39 ක පමණ මිලක් ඉදිරිපත් කර තිබිණි.
 එම නිර්දේශ දෙකම ප්‍රතික්ෂේප කර විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවට බාරදෙන්නැයි ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

(අජන්ත කුමාර  අගලකඩ)