අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නට යෙදුණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.



පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, සේවය අත්හිටවූ නිලධාරීන් අතර උපපොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරුන් දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් සිටින බවයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට විකුණු බව කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු අතුළු නිලධාරීන් 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා භාර දුන්නේ ය.

පොලීසිය සඳහන් කළේ, එම නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදවු උපකාර කළා දැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට උදවු උපකාර කිරීම පිළිබඳව හෙළි වූ කරනු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිවරයාට කරුණු වර්තා කර ඇති බවයි.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධ විමර්ශනයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.