වසර විස්සක කාලයක් තිස්සේ රෝගීන්ට ප්‍රතිකාර කළ බව කියන බිබිල ප්‍රදේශයේ හොර වෛද්‍යවරයකු බටහිර ඖෂධ තොගයක් හා ශල්‍යකර්ම උපකරණ සමග අත්අඩංගුවට ගත් බව බිබිල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී. එම්. එස්. බණ්ඩාර පවසයි.
බිබිල කනුල්වෙළ යාය පාරේ පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයකදී සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමා හොරට ප්‍රතිකාර කළ බව ඔහු පිළිගෙන ඇත.

වසර 20 ක කාලයක් තිස්සේ ප්‍රතිකාර මධ්‍යස්ථාන මාරු කරමින් මෙම හොර වෛද්‍යවරයා ප්‍රදේශයේ රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සිදුකර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියයි.

සැකකරු මෙයට වසර ගණනාවකට පෙරත් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කර ඇති පුද්ගලයෙකි. ඔහු බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොනරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත අධිකාරි මහතාගේ උපදෙස් මත බිබිල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී. එම්. එස්. බණ්ඩාර, එම කාර්යාලයේ පරිපාලන සෞඛ්‍ය පරීක්ෂක විමලතුංග දිසානායක ඇතුළු නිලධාරීන් බිබිල පොලිසිය සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇත.


අමිල ක්‍රිශාන්ත - පස්සර