උෂ්ණත්වමාන නොමැතිව පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා මෙම උපකරණ මිලදී ගැනීමට වෙන්කළ රුපියල් මිලියන අසූහතරකට සිදුවන දෙය වහාම හෙළි කළ යුතු බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි.


මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් උෂ්ණත්වමාන මිලදී ගෙන තිබෙන බවත්, එම උපකරණ මිලදී ගැනීමට වියදම් වූ මුදල් විදුහලට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවත් එම සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

කෝවිඩ් - 19 තත්වය තුළ පාසල් දරුවන්ගේ උෂ්ණත්වය මැන බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස උෂ්ණත්වමාන දහසය දහස් පන්සිය හතළිස් පහක් මිලදී ගැනීමට රුපියල් මිලියන අසූ හතරක් වෙන් කළ බවත්, ටෙන්ඩර්පත් කැඳවීමේදී ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම උපකරණ මිලදී නොගත් බවත් හෙතෙම පවසා සිටියේය. එසේ තිබියදී උණත්වමාන නොමැතිව පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරින් තීරණය කර තිබෙන බවත්, කෝවිඩ් - 19 තත්ත්වය යටතේ පාසල් දරුවන්ගේ ආරක්ෂාවට ගත් තීරණ විටින් විට වෙනස් කිරීමට යාම හේතුවෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සේම ආදි ශිෂ්‍ය සංගම් හා දෙමාපියන් දුෂ්කරතාවන්ට පත්වන බවද ඒ මහතා සඳහන් කළේය.

පාසල් ආරම්භ කිරීමට පෙර ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන බලධාරින් පසුගිය කාලයේදී විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදුන් බවත්, මේ අනුව උෂ්ණත්වමාන මිලදී ගැනීම හා විෂබීජ නාශක දියර වර්ග, සින්ක් මිලදී ගැනීම සිදුකර තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

(එච්.අයි.තුෂාර)