2019, අප්‍රේල් 21 වන දින පාස්කු ප්‍රහාරය සිදු වන තෙක් හිටපු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක අංශය එය නොදන්නා බව ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී එස්. පී. සතරසිංහ මහතා පාස්කු ඉරිදා පිලිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ දින
පවසා සිටියේය.
කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ, ජනාධිපති ආරක්ෂක අංශය සහ රාජ්‍ය බුද්ධි සේවයේ සාමාජිකයෙකු සමඟ මාසික රැස්වීම් පැවැත්වීමෙන් පසු ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඇගයීම් වාර්තවක් සකස් කරන බවයි.
"සාමාන්‍යයෙන් මෙම රැස්වීම්වලදී  ජනාධිපතිවරයාගේ වර්තමාන ආරක්ෂක්ෂාව පිළිබඳ ඇගයීම් වාර්තාවක් අප වෙත ලැබේ. සහභාගී වීමට නියමිත විශේෂ උත්සවයක් තිබේ නම්, එම අවස්ථාවට සහභාගී වීමට පෙර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව හඳුනා ගැනීමට අපි මෙම රැස්වීම තුළදී පියවර ගන්න, "ඔහු පවසා සිටියේය.
ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන විසින් 2019 අප්‍රේල් 12  වන දින මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණයේදී පැවති රැස්වීම පිළිබඳව සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.  අප්‍රේල් 12 වන දින මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණයේදී පැවති රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ බවත්, එම රැස්වීමට 5000කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවත් කොමිසමට වාර්තා විය.
වෙබර් ක්‍රීඩාංගණයේ පැවති රැස්වීමට සහභාගී වීමට පෙර හිටපු ජනාධිපතිවරයන්ගේ ආරක්ෂාව තක්සේරු කිර්ම සම්බන්ධයෙන්
ජනාධිපති ආරක්ෂක අංශය සහ  රාජ්‍ය  බුද්ධි සේවයේ නිලධාරීන් විසින් විශේෂ රැස්වීමක් පැවැත්වූයේ දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වර්යා  සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.
 මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා එම රැස්වීමට සහභාගී වීමට පෙර ආරක්ෂක ඇගයීම්  රැස්වීමක් පවත්වා නොමැති බවයි.
"ආරක්ෂක ඇගයීම් රැස්වීමක් නොතිබුණද එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් 2019 අප්‍රේල් 10 වන දින මඩකලපුව ප්‍රදේශය පිළිබඳ ආරක්ෂක ඇගයීමක් සඳහන් කරමින් රහස් ලිපියක් අප වෙත යොමු කර ඇත." සතරසිංහ මහතා පවසා සිටියේය.
සාක්ෂිකරු කොමිසමට දන්වා සිටියේ මේ දක්වා ජනාධිපතිවරයාට පැහැදිලි ආරක්ෂක තර්ජන කිසිවක් වාර්තා වී නොමැති නමුත් ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඇතැම් ප්‍රදේශවල ආරක්ෂාව සහතික කළ යුතු බව එම ලිපියේ සටහන් වී තිබු බවයි.
"අයිඑස්අයිඑස් අනුගාමිකයන් මඩකලපුව ප්‍රදේශය තුළ වාර්තා වී ඇති බැවින් ජනාධිපති ආරක්ෂක අංශය විසින් විශේෂ ආරක්ෂක පියවර ගත යුතු බව නිලන්ත ජයවර්ධන මහතා ලිපියේ සඳහන් කර ඇත. මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් සඳහා
මෙම ප්‍රදේශය ජනප්‍රිය බවත් ඔහු එම ලිපියේ පවසා ඇත" යනුවෙන් සාක්ෂිකරු කොමිසමට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත්, මීට පෙර කොමිසමේ සාක්ෂි තුළින් දන්වා තිබුණේ එවකට ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් ජාතික තව්හීදී ජමාද් හි නායක සහරාන් හෂීම් සහ ඔහුගේ සගයන් රට තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව ඇතුළු තොරතුරු 2019 අප්‍රේල් 09 වන දින වන විට පොලිස්පතිවරයාට යවා ඇති බවයි.
 රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විසින් 'ටොප් සීක්‍රට්' යනුවෙන් සලකුණු කරන ලද එම ලිපිය පොලිස්පතිවරයාට මෙන්ම එහි පිටපත් ජාතික ආරක්ෂක්ෂාව පිළිබඳ ප්‍රධානියාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.
නිදහස් දිනයට පෙර 2019  පෙබරවාරි 03 වන දින පැවති ආරක්ෂක ඇගයීම් රැස්වීම පිළිබඳ රජයේ අතිරේක සොලිසිටර්ජනරාල්වය තවදුරටත් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.
 නිදහස් දිනයට පෙර පැවති ඇගයීම් රැස්වීම තුළදී ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස් හා සම්බන්ධ පුද්ගලයන් 125ක් සිටින බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙකු වැල්ලම්පිටිය සහ දෙහිවල ප්‍රදේශවල ජීවත් වූ බවත් වාර්තා වී ඇති බව සතරසිංහ මහතා කොමිසමට දැනුම් දුන්නේය.
ඉරාකයේ හා ඉරානයේ අයිඑස්අයිඑස් පරාජයෙන් පසු ඔවුන් වෙනත් රටවලට පහර දීමට සැලසුම් කර ඇති බව එම ලිපියේ ජේෂ්ඨ පොලිස් අධිකාර්, රාජ්‍ය බුද්ධි සේවය, ලලිත් නනායක්කාර මහතා සඳහන් කළේය.
සාක්ෂි දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ 2019 මාර්තු මාසයේ සිට පැවති ආරක්ෂක ඇගයීම් රැස්වීම් තුල දී තව දුරටත් ජනාධිපති ආරක්ෂක අංශයට රට තුළ අන්තවාදී ක්‍රියා පිළිවෙත් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි. මෙම රැස්වීම් සඳහා ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා සහ පොලිස් අධිකාර්, රාජ්‍ය බුද්ධි සේවය, ජනක සෛශ්නවිරත්න මහතා සහභාගී වූ බව සාක්ෂිකරු කොමිසමට දැනුම් දුන්නේය.

යෝෂීතා පෙරේරා