ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා ප්‍රාන්තයේ පිහිටි අවන්හලක රථ ගාලේදී පසුගිය සිකුරාදා සිදුවූ පොලිස් වෙඩි තැබීමකින් කළු ජාතිකයෙකු වන 27 හැවිරිදි රෙෂාර්ඩ් බෘක්ස් ඝාතනය වීමට අදාළව එම නිලධාරීන්ගේ බොඩිකැම් වීඩියෝ පටය ඊයේ (15දා) ප්‍රසිද්ධියට පත් විය.


ඒ අනුව වෙඩි තැබීම එල්ල වීමට විනාඩි 30ක කාලයකට පෙර සිටම බෘක්ස් සහ මෙම නිලධාරීන් අතර ඉතාමත් සුහද සංවාදයක් පවතින බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් උත්සාහ ගත් අවස්ථාවේදී ඇති වූ පොරබැදීමකින් අනතුරුව දිවයන බෘක්ස්ට එක් පොලිස් නිලධාරීයෙකු වෙඩි තබන ආකාරයද එම වීඩියෝවේ සටහන්ව ඇත.

මෙහිදී වෙඩි ප්‍රහාරය එල්ල කළ නිලධාරියා ගැරට් රොල්ෆ් ලෙස හඳුනාගෙන තිබේ. ඔහු මේ වනවිට සේවයෙන් පහ කර ඇති අතර, ඩේවින් බොන්සන් නම් එම අවස්ථාවේ එතැන සිටි අනෙක් නිලධාරියා පරිපාලන රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට ඇට්ලන්ටා පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඇට්ලන්ටා නුවර යුනිවර්සිටි ඇවනිව්හි පිහිටි කෙටි ආහාර ආපන ශාලාවක 'ඩ්‍රයිව් තෘ' කවුළුව ආසන්නයේ නවත්වා ඇති වාහනයක සිටි නිදිගත් පුද්ගලයෙකු පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අනුව පොලිස් නිලධාරින් මෙහිදී බෘක්සන්ගෙන් ප්‍රශ්න කර තිබේ. එම අවස්ථාවේදී බෘක්ස් නොසන්සුන්ව සිටි බව පොලීසිය කියා තිබුණත්, වීඩියෝවේ මුල් කාලසීමාවේදී " එවැනි කිසිවක් දක්නට නොමැත.

 එහෙත් පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමට ගන්නා උත්සාහයේදී නොසන්සුන් වන බෘක්ස් ඔවුන් පෙරළා දමා ඔවුන්ගේ අත තිබූ විදුලි ධාරාවක් මඟින් සිරුර අඩපණ කරන 'ටේසර්' උපාංගය පැහැර ගෙන දිව යන ආකාරය මෙම වීඩියෝවල සඳහන්ව ඇත. දිවයන අවස්ථාවේදී ඔහු එම උපාංග පොලිස් නිලධාරීන් දෙදෙනා වෙත එල්ල කරනවාත්  සමගම එක් නිලධාරියෙකු වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ. ඉන් බෘක්ස් තුවාල ලබා ඇති අතර, රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

 දැනෙටමත් ඇලන්ටා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී එරිකා ෂීල්ඩ්ස්  සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ අතර සිදුවීමෙන් පසු දිනයේදී යුනිවර්සිටි ඇවනිව්හි පිහිටි අදාළ ආපන ශාලාව ඉදිරිපිට පැමිණි උද්ඝෝෂකයන් පිරිසක් එහිදී පොලිස් නිලධාරින්ට එරෙහිව සහ මියගිය බෘක්ස්  සිහිකරමින් විරෝධතාවයේ නිරත වන්නට විය. ඒ අතරින් කිසිවෙකු විසින් හෝ අදාළ ආපන ශාලාවට ගිනි තබා ඇති අතර, මේ වනවිට එම පුද්ගලයා හෝ කණ්ඩායම පිළිබඳව පොලීසිය විමර්ශන සිදු කරයි. එහිදී ඔවුන් ගැන තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට මුදලින්  ඇ.ඩො.10,000ක් පිරිනමන බව ඇට්ලනිටා පොලීසිය පවසයි.

බෘක්ස්ගේ  ඝාතනයට එරෙහි  උද්ඝෝෂණ ඊයේ  දිනය වනවිට ඇට්ලන්ටා ප්‍රාන්ත පුරාම ව්‍යාප්තව පැවතුණු අතර, පිරිසක් ඇට්ලන්ටාහි  අධිවේගී මාර්ගයේදීද උද්ඝෝෂණ පවත්වා තිබේ. එසේම පසුගිය ඉරිදා දිනයේදී ඇට්ලන්ටා පොලිස් දෙපාර්තමේන්තුව වෙබ් අඩවිය වෙත හදිසි හැකර් ප්‍රහාරයක්ද එල්ල විය. එම ප්‍රහාරය සිදුකළ පිරිස  රෙෂාඩ් බෘක්ස් ඝාතනය කළ මිනීමරුවන් අත්අඩංගුවට ගත යුතු බවට එහි සඳහන් කර තිබුණි.