ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අත්සන සහිත කූඨ ලේඛන ව්‍යාජ ලෙස සකස් කල සැකකරුවෙකු එම අත්සන සහිත ලිපි ශීර්ෂ භාවිතයට ගෙන ලංකා බැංකුවේ සේවයෙන් අස්කළ තැනැත්තෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා යොදා ගත් උත්සාහයක් නිසා ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අත්සන හා ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලිපි සකස් කළ මෙම පුද්ගලයාට එරෙහිව ලංකා බැංකු මූලස්ථානයේ ප්‍රධාන කළමණාකරු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

‘වැඩ තහනමට ලක්ව ඇති ලංකා බැංකු සේවකයෙකු යළි සේවයේ පිහිටු විමයන මාතෘකාව' යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ලිපි ශීර්ෂයක ජනාධිපතිතුමාගේ අත්සන යැයි විශ්වාස කළ හැකි ආකාරයට අත්සන යෙදා එම ලිපිය පසුගිය මැයි 28 වන දින ලංකා බැංකුවේ සභාපතිතුමා වෙත යොමු කර තිබිණි.

එම ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජුනි 03 වන දින සභාපතිවරයා හමුවීමට ලංකා බැංකු මූලස්ථානය වෙත කැඳවීමට සභාපතිවරයා කටයුතු කර ඇත. එම අවස්ථාවේදී එම පුද්ගලයා විසින් ඉහත ආකාරයට සකස් කරන ලද ලිපියද සභාපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත. මෙම ලිපිය සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ලංකා බැංකු නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාව එදිනම කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ව්‍යාජ ලේඛනයක් බවට කරුණු සනාථවීම නිසා එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අදාල සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කර ඇති අතර එහිදී සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ ඔහු සිය පුද්ගලික ලැප්ටොප් පරිගණකය භාවිතා කර මෙම ලිපි සහ ලිපි කවරය සකස් කර ඇති බවයි. ඒ අනුව කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඉහත කූඨ ලේඛණ සකස් කිරීම සඳහා යොදා ගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් හා පෙන් ඩ්‍රයිව් 01 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 37 ක් වූ සුන්දරාපොල පාර, යන්තලාව, කුරුණෑගල ලිපිනයේ පදිංචිකරුවෙකු වේ. මොහු අද (4) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.